September 18, 2026

තමන්ගේ ලාභදායී හිමිකාරිත්ව තොරතුරු මෙතෙක් ඉදිරිපත් කර නොමැති සමාගම් , 2026 සැප්තැම්බර් 30 වන දින හෝ ඊට පෙර එම තොරතුරු ඉදිරිපත් කරන ලෙස සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

2025 අංක 12 දරන සමාගම් (සංශෝධන) පනතේ 130H(1) වගන්තිය යටතේ මෙම අවශ්‍යතාව ක්‍රියාත්මක වන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මෙම විධිවිධානය මගින්, 2007 අංක 7 දරන සමාගම් පනත හෝ සමාගම්වලට අදාළ පෙර පැවති යම් ලිඛිත නීතියක් යටතේ සංස්ථාපිත හෝ ලියාපදිංචි වූ සහ අදාළ සංශෝධනය බලාත්මක වූ දිනයේදී ලාභදායී හිමිකරුවන් සිටින සෑම සමාගමක්ම, නියමිත ආකෘතියෙන් සහ ක්‍රමවේදයට අනුව තම ලාභදායී හිමිකරුවන්ගේ විස්තර රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.

නියමිත කාලසීමාව තුළ ඊට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම පරිපාලනමය දඩවලට යටත් වීමට හේතු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම, අදාළ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන සමාගමක් වරදක් සිදු කළ බව සැලකිය හැකි අතර, වරදකරු වීමකදී රුපියල් මිලියනයක් නොඉක්මවන දඩයකට හෝ වසර 10ක් නොඉක්මවන කාලයකට ඕනෑම ආකාරයක සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් විය හැකි බව ද වැඩිදුරටත් සඳහන් කෙරිණි.