September 18, 2026

තමන්ගේ කඳවුර තුළ ද දූෂිතයන් සිටිය හැකි බැවින් අන් අයට දූෂණ චෝදනා එල්ල නොකළ යුතු බවට තම මුත්තණුවන් වූ අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන දැරූ මතය ඔහුගේ මුනුපුරු ප්‍රදීප් ජයවර්ධන සිහිපත් කළේය.

ප්‍රදීප් ජයවර්ධන මේ බව පැවසුවේ කොළඹදී අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ 120 වැනි ජන්ම සංවත්සර උත්සවයට එක්වෙමිනි.

“ඒ දවස්වල මම මගේ සීයා එක්ක ගොඩක් උත්සවවලට ගියා. 1987 දී ඔහු ව්‍යාපාරිකයන් පිරිසක් හමුවූ හැටි මට මතකයි. එක් ව්‍යාපාරිකයෙක් ආණ්ඩුවේ දූෂණය ගැන ඔහුගෙන් ප්‍රශ්න කළා.”

“එවිට මගේ සීයා විමසුවේ එම රැස්වීමේ සිටින ව්‍යාපාරිකයන් අතර අල්ලස් දුන් හෝ ගත් අයෙක් සිටීද යන්නයි. එසේ කළ අයෙක් සිටී නම් අත ඔසවන ලෙස ඔහු පැවසුවා. නමුත් රැස්වීමේ සිටි කිසිම ව්‍යාපාරිකයෙක් අත එසවූයේ නැහැ.”

“එවිට මගේ සීයා පැවසුවේ අන් අයට ඇඟිල්ල දිගු නොකළ යුතු බවයි. මන්ද ඔබ එසේ කරන විට ඇඟිලි හතරක් නැවත ඔබටම දිගු වන බැවිනි. නමුත් අද අප දකින්නේ එකිනෙකාට දූෂණ චෝදනා එල්ල කරගන්නා ආකාරයයි,” යනුවෙන් ඔහු පැවසීය.