September 17, 2026

බියගම ප්‍රදේශයේ හෝටලයක සිදුකළ වැටලීමකදී රුපියල් මිලියන 42.5ක් (කෝටි 4.25ක්) වටිනා ගජමුතු දෙකක් වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හොරගොල්ල ජාතික වනෝද්‍යාන භාරකරුට ලැබුණු තොරතුරකට අනුව, එම වනෝද්‍යානයේ නිලධාරීන් සහ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.

විකිණීම සඳහා සූදානම් කර තිබූ මෙම ගජමුතු දෙක සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නිලධාරීහු පැවසූහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හිඟුරක්ගොඩ, දොඩන්දූව සහ හික්කඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වේ. සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් ගජමුතු සැප්තැම්බර් 23 වන දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ අලින් වැනි සංරක්ෂිත ක්ෂීරපායින්ගේ ශරීර කොටස් ළඟ තබාගැනීම, ප්‍රදර්ශනය කිරීම, ප්‍රවාහනය කිරීම හෝ විකිණීම තහනම් වේ.

සැකකරුවන්ට මෙම ගජමුතු ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.