September 17, 2026

මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනෙකුට මරු කැඳවමින් සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථයේ රියදුරු සැප්තැම්බර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

සැකකරු අද (17) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ රියදුරු ගංජා භාවිත කර සිටි බවට අනාවරණය වූ බව පොලිසිය අද පෙරවරුවේ ප්‍රකාශ කළේය.

ඊයේ (16) රාත්‍රියේ මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 10 දෙනෙකු බරපතල තුවාල ලැබූහ. අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථය මාර්ගයේ ගමන් කළ තවත් වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

මෙම අනතුරේදී අදාළ මෝටර් රථය ත්‍රිරෝද රථ තුනක සහ යතුරුපැදි හතරක ගැටී ඇති බව වාර්තා වේ.

අනතුරෙන් තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථයේ රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස සැප්තැම්බර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.