September 16, 2026

පාරිභෝගික ආරක්ෂණ නීති හා විධාන උල්ලංඝනය කරමින් කටයුතු කළ J.K. Marketing Services (Pvt) Ltd ආයතනය යටතේ පවත්වාගෙන යනු ලබන කීල්ස් සුපර් (Keells Super) ශාඛා දෙකකට එරෙහිව පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 400,000ක දඩයක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් පවරන ලද වෙන වෙනම නඩු දෙකක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දී ඇත.

අදාළ නඩුකරයන්හි තොරතුරු පහත පරිදි වේ:

බණ්ඩාරගම, පානදුර පාර ශාඛාව

පරීක්ෂා කළ දිනය: 2026 අගෝස්තු 31

චෝදනා: රු. 590/- ක උපරිම සිල්ලර මිලක් සටහන් කර තිබූ බිත්තර 10 ඇසුරුමක් රු. 615/- කට අලෙවි කිරීම සහ කල් ඉකුත් වූ සිසිල් බීම අලෙවිය සඳහා තබා තිබීම.

නඩුව විභාග වූ දිනය: 2026 සැප්තැම්බර් 03

දඩ මුදල: රු. 200,000/- (වරද පිළිගැනීමෙන් අනතුරුව)

මතුගම ශාඛාව

පරීක්ෂා කළ දිනය: 2026 අගෝස්තු 21

චෝදනා: මුල් මිල ඉවත් කර වෙනස් කරන ලද ග්‍රෑම් 100 Sweet Potato Chips ඇසුරුම් 05ක් අලෙවිය සඳහා තබා ගැනීම (විධාන අංක 85 සහ පනතේ 10(4) වගන්තිය උල්ලංඝනය කිරීම).

නඩුව විභාග වූ දිනය: 2026 සැප්තැම්බර් 14

දඩ මුදල: රු. 200,000/- (වරද පිළිගැනීමෙන් අනතුරුව)

එක් ශාඛාවකට රුපියල් 200,000/- බැගින් වරද පිළිගැනීමෙන් පසු අය කර ඇති මුළු දඩ මුදල රුපියල් 400,000/- කි.