September 16, 2026

කිරින්ද වෙරළ තීරයේදී රුපියල් කෝටි 500කට අධික වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 325ක් අත්අඩංගුවට ගැනීමට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඇතුළු විමර්ශන කණ්ඩායමට සහාය දුන් උපායදූතයා ඝාතනය කිරීමට විදේශගතව සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් වන අංගොඩ ප්‍රියංකර සහ රූබන් රුපියල් ලක්ෂ 140ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතැයි වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය හෙළිකරගෙන තිබේ.

ඒ අනුව එම කොන්ත්‍රාත්තුව භාරගෙන උපායදූතයා පොලිස් ජීප් රථයකට සමාන වාහනයකින් හප්පා පැහැරගෙන ගොස් කපා කොටා ඝාතනය කිරීමට සැලසුම් කළ තිදෙනෙක් සෙල්ලකතරගම ලක්ෂ්මී දේවාලය ඉදිරිපිට ඇති කඩ කාමරයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට පෙරේදා (14) සමත්ව ඇත.

අංගොඩ ප්‍රියංකර නමැති මත්කුඩු ජාවාරම්කරුගේ සමීපතමයෙක් වන මධුක චාමර හෙවත් ‘මධුවා‘ ඇතුළු තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මධුවා නමැත්තා වැල්ලම්පිටියේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවන්නෙකි.

කිරින්ද වෙරළ තීරයේදී මත්ද්‍රව්‍ය කිලෝ 325ක් අත්අඩංගුවට ගනු ලබන්නේ ඒවා ප්‍රවාහනය කිරීමට සූදානමින් සිටි 08 දෙනෙක් මෝටර් රථ 06ක් සමඟ පසුගිය වසරේ නොවැම්බර් 29 දාය.

එම මත්කුඩු තොගය සමඟ සිය ගෝලබාලයන් අත්අඩංගුවට ගැනීමෙන් කුපිත වූ ජාවාරම්කරුවන් මුලින්ම සැලසුම් කර තිබුණේ උපායදූතයාව මරා ඔහුගේ හිස කඳින් වෙන්කර ඕලුගලගේ නිවෙස ඉදිරිපිට තැබීමටය. එම සැලසුම අනාවරණය වීමත් සමඟ එම ඝාතන ප්‍රයත්නය මෙයට මාස 09කට පමණ පෙරදී ව්‍යර්ථ කිරීමට නිලධාරීන්ට හැකිවී තිබිණි.

එම සිදුවීම යටපත් වීමෙන් අනතුරුව පසුගිය 05 වැනිදා ඕලුගලගේ උපායදූතයාව කිරින්ද වරාය ආසන්නයේදී පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයකින් යටකර ඝාතනය කිරීමට උත්සාහ දරා තිබිණි. ඒ සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් විමර්ශන පවත්වා ජීප් රථය කඩුවෙල රාජසිංහ මාවතේ හේවාගම ප්‍රදේශයේ පිහිටි ජනාගේ ගරාජය නමැති ස්ථානයේ තිබී පසුගිය 08 වැනිදා සොයාගන්නා ලදී.

මේ පිළිබඳ තවදුරටත් විමර්ශන පැවැත්වීමේදී මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට තොරතුරක් ලැබී ඇත්තේ ඕලුගලගේ උපායදූතයා ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව භාරගත් සැකකරුවන් සෙල්ලකතරගම සැඟව සිටින බවය. ඒ අනුව පොලිස් පරීක්ෂක චතුරංග ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තොරතුරු රැස්කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් සතුව තිබී මන්නා පිහි 02ක් හමුවී ඇත. ප්‍රශ්න කිරීමේදී ‘මධුවා’ පවසා ඇත්තේ ඕලුගලගේ උපායදූතයා ඝාතනය කිරීමට රුපියල් ලක්ෂ 140ක මුදලක් ලබාදෙන බවට අංගොඩ ප්‍රියංකර තමන්ට පොරොන්දු වූ බවය. එම මුදලින් රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් විටින් විට ලැබුණු බවද ඔවුන් පවසා තිබේ. තදින්ම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින ඔවුන්ට මත්ද්‍රව්‍යද ලැබී ඇත්තේ අංගොඩ ප්‍රියංකරගෙනි. එසේ ලද මත්ද්‍රව්‍යවලින් ඉතිරිව තිබූ හෙරොයින් ග්‍රෑම් 08ක්ද ‘මධුවා’ සතුව තිබී මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

ඕලුගලගේ උපායදූතයාව පසුගිය 05 වැනිදා පොලිස් වෙසින් ඔහුගේ නිවෙසට ගොස් පැහැරගෙන ගොස් කපා කොටා මරා දැමීම ඔවුන්ගේ සැලසුම වී ඇත. එහෙත් එම සැලසුම ව්‍යර්ථ වී ඇත්තේ නිවෙසේදී උපායදූතයා කොටුකර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී නැති බැවිනි. පොලීසියේ ජීප් රථයකට සමාන ජීප් රථයකින් පැමිණි මොවුන් සම්බන්ධයෙන් උපායදූතයාට ඇතිවූ සැකය මත ඔහු මෙම සැකකරුවන් මඟහැර ගොස් ඇත. ඔහුව ජීප් රථයේ හප්පා ඇත්තේ එවිටය. එහිදී ජීප් රථයේ ඔහුව දමාගෙන මඟට රැගෙන ගොස් කපා කොටා මරා දැමීම ඔවුන්ගේ සැලසුම වී තිබී ඇති බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි. එහෙත් එදින ඔහුව පැහැර ගැනීමට මෙම සැකකරුවන්ට නොහැකි වී තිබේ. මෙම සිදුවීමෙන් අනතුරුව සැකකරුවන් සෙල්ලකතරගමට ගොස් සැඟවී සිට ඇතැයි පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඉංගිරියේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්ද සිටියි. නලින් නමැති මෙම සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක් පොලිසිය සොයාගෙන ඇත.

මෙම දෙවැනි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහු සන්තකයේ තිබී මොහුගේ අත්අකුරින් සිය පුතාට සියදිවි නසාගන්නා බවට ලියන ලද ලිපියක් හමුවී තිබේ. ඔහු සූදානමින් සිට ඇත්තේ ඕලුගලගේ උපායදූතයා ඝාතනය කිරීමෙන් පසු පොලීසියට හසුවුවහොත් සියදිවි හානිකර ගැනීමට බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි තෙවැන්නා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවන්නෙකි. සුසන්ත නමැති ඔහු ප්‍රධාන සැකකරු ‘මධුවා’ නමැත්තාගේ මස්සිනා බව පොලිසිය සඳහන් කරයි.

ඔහු සතුව අයිස් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 200ක් හමුවී ඇත. මධුවා යන අයට සහ මෙම සැකකරුට මීට පෙර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහියෙන් ඇන මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධ නඩුවක් අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින බවට අනාවරණය වී ඇත.

මෙම සැකකරුවන්ට අංගොඩ ප්‍රියංකර හා රූබන් නමැති සංවිධානාත්මක අපරාධකරුවන් විසින් ඕලුගලගේ උපායදූතයා පැහැරගෙන ගොස් මරා දමන හැටි පවා උපදෙස් දී තිබී ඇත. කපා කොටා වධ දී මරා දැමීමටත්, එම මරණය දකින අයකු මත්කුඩු ජාවාරම් පාවා නොදෙන තත්ත්වයක් ඇති කිරීමත් ඔවුන්ගේ සැලසුම වී ඇතැයි විමර්ශනයේදී පෙනීගොස් තිබේ. මළසිරුර දමා යාමට සැලසුම් කර තිබී ඇත්තේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගරයකය.

උපායදූතයා ඝාතනය කිරීමෙන් පසු ජීප් රථය ගිනි තබා විනාශ කිරීමටද අංගොඩ ප්‍රියංකර සහ රූබන් සැකකරුවන්ට උපදෙස් ලබා දී තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තබාගෙන විමර්ශන පැවැත්වීමට නියමිතය.

(උපුටාගැනීම – දිනමිණ)