September 15, 2026

හිටපු රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සලේට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනීසිට කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මෙම වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය සිදුකරන ලදී.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළව දැනට රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන සලේට තවදුරටත් ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමට අවශ්‍යතාවයක් තිබේද යන්න පැහැදිලි කර ගැනීම සඳහා මෙම වෛද්‍ය වාර්තා අපේක්ෂා කෙරිණි.

පූර්ව උපදෙස් ලබා දී තිබියදීත්, අද දින අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙලෙස නොතීසි නිකුත්කිරීමට පියවර ගත්තේය.

මේ අතර, මීට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයකු වන රංජන් සෙනරත් බණ්ඩාරට අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවන ලදී.

ඔහු විමර්ශන සඳහා අවශ්‍ය පුද්ගලයකු ලෙස හඳුනාගෙන ඇති අතර, විදේශගත වීමට ඉඩ ඇති බවට පැවති සැකය හේතුවෙන් මෙම තහනම පනවා ඇත.