September 15, 2026

චීනය විසින් සැබෑ මත්ස්‍යයෙකුගේ ස්වරූපයට හා හැසිරීමට බෙහෙවින් සමාන, ජලය අභ්‍යන්තරයේ ස්වයංක්‍රීයව ගමන් කළ හැකි රොබෝ මත්සයෙකු එළිදක්වා තිබේ.

ජෛව අනුකාරක රොබෝ පද්ධති සංවර්ධනයේ චීනය ලබා ඇති මෙම ප්‍රගතිය, ඉදිරියේදී දිය යට නිරීක්ෂණ සහ ගවේෂණ කටයුතු සඳහා යොදාගැනීමේ වැඩි ඉඩකඩක් පවතී.

චීනයේ Jimu News පුවත් සේවයට අනුව,Boyagongdao Marine Technology Group සමාගම මගින් නිෂ්පාදිත ‘BG-5 ගෝල්ඩන් ඩ්‍රැගන් ෆිෂ්’ (BG-5 Golden Dragon Fish) නම් මෙම රොබෝ බීජිං හි ශවුගං උද්‍යානයේ පැවැති 2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කර තිබේ. Golden Arowana නම් මත්ස්‍යයාගේ ස්වරූපයට අනුව නිර්මාණය කර ඇති මෙම රොබෝවරයා, සැබෑ මත්ස්‍යයෙකු මෙන් පිහිනීමේ යෙදෙන්නේ බහු-සන්ධි සහිත වල්ගය භාවිත කරමිනි.

මෙම රොබෝ පූර්ව නියමිත ගමන් මාර්ගයක් ඔස්සේ පමණක් පිහිනීම සිදු නොකරන බව ප්‍රදර්ශන කුටියේ නිලධාරියෙකු උපුටා දක්වමින් ජිමු නිව්ස් වාර්තා කරයි. රොබෝ මත්ස්‍යා සතු සංවේදක මගින් ඉදිරියේ ඇති බාධක හඳුනාගෙන, ස්වයංක්‍රීයවම ගමන් මාර්ගය සැලසුම් කරගැනීමේ හැකියාව පවතී. කිලෝග්‍රෑම් 3 ක බරින් යුත් මෙම රොබෝවරයාගේ වල්ගය කොටස් හතකට බෙදී ඇති අතර සන්ධි තුනකින් සමන්විත වේ.

සමාගමේ නිෂ්පාදන නාමාවලියට අනුව BG-5 රොබෝ මත්ස්‍යා දිගින් මිලිමීටර් 640 ක්, පළලින් මිලිමීටර් 204 ක් සහ උසින් මිලිමීටර් 90 ක් වේ. මීටර් 5 ක උපරිම ජල ගැඹුරක ක්‍රියාත්මක විය හැකි මෙහි උපරිම වේගය තත්පරයට මීටර් 0.6 කි.