September 15, 2026

අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට ප්‍රදර්ශනය කර තිබූ දිවියෙකුගේ දතක් අඩංගු පෙන්ඩන්ට් එකක්, ඇත්දළ මුද්දක් සහ ඇත්දළවලින් සකසන ලද සුරයක් සමඟ සැකකරුවකු මාතර, කරටියාවල ප්‍රදේශයේදී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ දිවි දත පිළිබඳව තොරතුරු නිරීක්ෂණය වීමෙන් අනතුරුව, පානහඩුව කාර්යාලීය වනජීවී නිලධාරීන් විසින් දීර්ඝ කාලයක සිට සිදුකළ විමර්ශනයකින් පසුව මාතර කරටියාවල ප්‍රදේශයේ පිහිටි අදාළ නිවස හඳුනාගෙන මෙම වැටළීම සිදුකර ඇත.

එහිදී වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් ආරක්ෂිත සත්ව කොටස් ළඟ තබාගැනීම සහ අලෙවි කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු සමඟ නඩු භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ ඊයේ (14) මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සැකකරු එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව අදාළ නඩුව එළඹෙන 21 වැනිදා නැවත කැඳවීමට නියමිතය.