September 15, 2026

පෘථිවි කක්ෂයට අයත් කලාපය තුළ අභ්‍යවකාශ ආයුධයක් සාර්ථකව ස්ථාපිත කර ඇති බව ඇමරිකාව ඉතිහාසයේ පළමු වරට නිල වශයෙන් තහවුරු කර තිබේ.

මෙවැනි ප්‍රහාරක හැකියාවන් තමන් සතු බව එක්සත් ජනපදය ප්‍රසිද්ධියේ පිළගත් පළමු අවස්ථාව මෙය වේ.

එක්සත් ජනපද ගුවන් හමුදා ලේකම් ට්‍රෝයි මයින්ක් ප්‍රකාශ කර ඇත්තේ, සතුරු ක්‍රියාමාර්ගවලින් ඇමරිකානු හමුදා ආරක්ෂා කරගැනීම සඳහා මෙම ආයුධය අත්‍යවශ්‍ය වන බවයි.

ගුවන්, අභ්‍යවකාශ සහ සයිබර් සමුළුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඇමරිකාවට මතුවන ඕනෑම තර්ජනයකට මුහුණ දීමට සූදානම් බවයි.

කෙසේවෙතත් ආයුධයේ නිශ්චිත හැකියාවන් මොනවාද යන්න හෝ එය කවදා කක්ෂගත කළේද යන්න පිළිබඳව තොරතුරු පිළිබද ඔහු හෙළිකිරීමක් සිදුකර නොමැති බව BBC පුවත් සේවය වාර්තා කරයි.

1967 වසරේ අන්තර්ජාතික ගිවිසුමකින් පෘථිවි කක්ෂය තුළ සමූල ඝාතක ආයුධ තහනම් කර ඇතත්, හමුදා සන්නිවේදන සහ ඔත්තු බැලීම් ආරක්ෂා කරගැනීම සඳහා ඇමරිකාව, රුසියාව සහ චීනය වැනි බලවත්තු විවිධ උපායමාර්ග අත්හදා බලනු ලබති.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ අභ්‍යවකාශ බලකාය හුදෙක් වත්කම් ආරක්ෂා කරනවා පමණක් නොව, අවශ්‍ය නම් ප්‍රහාරක බලකායක් ලෙසද ක්‍රියා කළ යුතු බව අවධාරණය කර තිබේ.

ඇමරිකානු අභ්‍යවකාශ බලකාය පවසා ඇත්තේ, චීනය සහ රුසියාව අභ්‍යවකාශය යුධ පිටියක් ලෙස සලකමින් නවීන හමුදා උපායමාර්ග ක්‍රියාත්මක කරන බවයි. එම තර්ජන හමුවේ ඇමරිකාවද සිය ආරක්ෂක විධිවිධාන අඛණ්ඩව තර කරමින් සිටින බව විමර්ශකයෝ පෙන්වාදෙති.