September 15, 2026

මන්නාරම මුහුදු තීරයේදී ඊයේ (14) කිලෝග්‍රෑම් 300කට ආසන්න බරකින් යුත් ගැඹුරු මුහුදේ වෙසෙන දැවැන්ත මත්ස්‍යයකු ධීවරයන්ගේ දැලට හසුවී ඇති අතර, මේ වන විට එය ප්‍රදේශවාසීන්ගේ සහ ධීවරයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.

දේශීය වශයෙන් ‘කොප්පරා’ ලෙස හඳුන්වන මෙම මත්ස්‍යයා හසුව ඇත්තේ මන්නාරම වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වූ ධීවරයන්ගේ දැල්වලටය.

ගැඹුරු මුහුදු සීමාවන්හි වෙසෙන මෙම මත්ස්‍යයා දිගු හොටක් සහිත, අධික වේගයකින් පීනීමට හැකියාව ඇති මත්ස්‍යයකු බව පවසන ධීවරයෝ, උගේ මෙම නොසිතූ දැවැන්ත ප්‍රමාණය නිසා සැවොම පුදුමයට පත් වූ බව සඳහන් කරති.

මේ අතර, මෙම දැවැන්ත මත්ස්‍යයා සමඟ ධීවරයන් ගත් ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතී.