September 15, 2026

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් මේ වන විට පරීක්ෂණයක් පවත්වමින් සිටින බැවින් කථානායකවරයා වහාම ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර ප්‍රකාශ කරයි.

ඊයේ (14) රාත්‍රියේ ටීවී දෙරණ නාළිකාවේ විකාශය වූ ‘360°’ වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.

BC/0356/20/26 B 206 යන ගොනු අංකය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කථානායකවරයාට එරෙහිව මේ වන විටත් පරීක්ෂණයක් පවත්වන බවත්, ස්ථාවර නියෝග 29 යටතේ විශේෂ වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස තමන් මේ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

දූෂණ විරෝධී පනතේ 107(2) වගන්තිය උපුටා දක්වමින් ඔහු කියාසිටියේ, රජයේ නිලධාරියෙකුට හෝ රාජ්‍ය අධිකාරියකට සෘජු හෝ වක්‍ර උනන්දුවක් හෝ සම්බන්ධයක් ඇති කරුණකට අදාළව සහභාගී වීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීම එමගින් තහනම් කර ඇති බවයි.

එම වගන්තිය උල්ලංඝනය කිරීම වරදක් වන අතර, ඊට රුපියල් මිලියනය දක්වා වූ දඩයක් හෝ වසර හතක් දක්වා වූ බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම විය හැකි බව ද දයාසිරි ජයසේකර පෙන්වාදුන්නේය.

මෙලෙස විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතිද්දීත්, කථානායකවරයා පසුගිය සැප්තැම්බර් 8 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වර්ෂික අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, එය නීතියට පටහැණි බවත් ඔහු චෝදනා කළේය.

එමෙන්ම, අල්ලස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සසු සාමාජිකයන් පත්කිරීමට නිර්දේශ කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු ලෙස කථානායකවරයා කටයුතු කිරීම මගින්ද මෙහිදී පරස්පර විරෝධී තත්ත්වයක් (Conflict of interest) නිර්මාණය වන බවට දයාසිරි ජයසේකර තර්ක කළේය.

අල්ලස් කොමිෂන් සභාවට අදාළ නීති සංශෝධන දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින බවත්, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූ පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි වගන්තිය ප්‍රකාරව කථානායකවරයාට ඊට අත්සන් තැබීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරමින් දයාසිරි ජයසේකර කියාසිටියේ, පරීක්ෂණයකට ලක්ව සිටින පුද්ගලයකුට අදාළ කොමිෂන් සභාවට සම්බන්ධ කරුණු සඳහා මැදිහත්වීම දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන මගින් සීමාකර ඇති බවයි.

“වඩාත්ම වැදගත් කාරණය තමයි 107 වගන්තිය. රාජ්‍ය නිලධාරියකුට හෝ රාජ්‍ය අධිකාරියකට යම් තීරණයකට සෘජු හෝ වක්‍ර සම්බන්ධයක් තියෙනවා නම්, එම නිලධාරියා ඒ තීරණයට අදාළ කිසිදු කටයුත්තකට සහභාගී වීම හෝ ඡන්දය දීම නොකළ යුතුයි” යනුවෙන් ඔහු පැවසීය.

විමර්ශනයකට ලක්ව සිටින පුද්ගලයකු අල්ලස් කොමිෂන් සභාවට සම්බන්ධ කටයුතුවලට මැදිහත්වීම 107(2) වගන්තිය මගින් විශේෂයෙන්ම වළක්වා ඇති බවත්, එවැනි වරදක් සඳහා 107(3) වගන්තිය යටතේ රුපියල් මිලියනය දක්වා දඩයක් හෝ වසර හතක් දක්වා සිරදඬුවමක් නියම කර ඇති බවත් ඔහු පැවසීය.

සැප්තැම්බර් 8 වැනිදා කථානායකවරයා විසින් අල්ලස් කොමිෂන් සභාවේ වාර්ෂික අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද දයාසිරි ජයසේකර මෙහිදී ප්‍රශ්න කළේය.

“තමන්ට එරෙහිව පැමිණිල්ලක් තියෙන, මේ වන විට පරීක්ෂණයකට ලක්වෙමින් ඉන්න පුද්ගලයෙක්ට නීත්‍යානුකූලව මෙය ඉදිරිපත් කරන්න බෑ. මේ ගැන පරීක්ෂණයක් පැවැත්වුවහොත් ඔහුට රුපියල් මිලියනයක දඩයකට හෝ වසර හතක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවිය හැකියි” යනුවෙන් ඔහු සඳහන් කළේය.

ඊට අමතරව, තමන්ට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බව කියන අතරතුර අල්ලස් කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතුවලට කථානායකවරයා සහභාගී වීමද පරස්පර විරෝධී තත්ත්වයක් නිර්මාණය කරන බවට ඔහු චෝදනා කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතට යෝජිත සංශෝධන පිළිබඳව අදහස් දක්වමින් දයාසිරි ජයසේකර කියාසිටියේ, ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පත පිළිබඳ සිය තීරණය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

පාර්ලිමේන්තු විවාදයෙන් සහ පනත් කෙටුම්පත සම්මත වීමෙන් අනතුරුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි වගන්තිය යටතේ කථානායකවරයාට ඊට අත්සන් කිරීමට සිදුවන බවත්, එල්ල වී ඇති විමර්ශන චෝදනා හමුවේ එය තවත් නීතිමය ගැටලුවක් නිර්මාණය කරන බවත් ඔහු තර්ක කළේය.

“මේ තත්ත්වය යටතේ ඔහුට සභාවේ අසුන් ගැනීමට හෝ පනතට අත්සන් කිරීමට හැකියාවක් නැහැ. මෙය සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී තත්ත්වයකට තල්ලු වෙමින් පවතිනවා” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.

එබැවින් කථානායකවරයාට ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඔහු අවධාරණය කළේය.

“මම කියන්නේ ඔහු ඉල්ලා අස්විය යුතුයි කියලයි. ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් ඔහුට නැහැ” යනුවෙන්ද ඔහු පැවසීය.

කෙසේවෙතත්, මෙම කරුණ තවමත් විමර්ශන මට්ටමේ පවතින බැවින් තමන් කථානායකවරයා වරදකරු ලෙස ප්‍රකාශ නොකරන බවද දයාසිරි ජයසේකර අවධාරණය කළේය.

“මම මෙය කියන්නේ ඔහු වරදකරු ලෙස සලකන නිසා නෙවෙයි. කාරණය තවමත් තියෙන්නේ විමර්ශන මට්ටමේ. ඔහු වරදකරු කියලා මම කියන්නේ නැහැ. මගේ තර්කය තමයි පවතින නීතිමය තත්ත්වය හමුවේ ඔහුට තවදුරටත් එම ධුරයේ රැඳී සිටින්න බෑ කියන එකයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.