September 14, 2026

අධිකරණ හමුවේ නඩු පවතින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පැමිණිලිකරුවන් සමඟ එම නඩු විසඳා දෙන බව පවසමින් ඇතැම් පුද්ගලයන් සංවිධානාත්මක ලෙස කප්පම් ගැනීමේ ජාවාරමක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන චෝදනා කරයි.

මාධ්‍ය ක්‍රියාකාරීන් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයන්, ඉල්ලන මුදල් නොදුන්නොත් මන්ත්‍රීවරුන්ට එරෙහි චෝදනා මාධ්‍යයට හෙළි කරන බවට තර්ජනය කරමින් මෙලෙස කප්පම් ගන්නා බව මන්ත්‍රීවරයා පවසා ඇත.

තමන්ගෙන්ද එක් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලූ බවත්, එම මුදල නොදුන්නොත් වසර 15කට පෙර සිදුකළ ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මාධ්‍යයට දෙන බවට තර්ජනය කළ බවත් මන්ත්‍රීවරයා හෙළි කළේය.

අදාළ ඉඩම් ගනුදෙනුව සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල එකක් බවත්, තමන්ට අයත් ඉඩමක් විකිණීමෙන් පසු ලැබුණු මුදල් බැංකුවට බැර වූ බවත් ඔහු සඳහන් කරයි.

අදාළ ‘ක්‍රියාකාරිකයා’ ඉඩම මිලදී ගත් පාර්ශ්වයට යම් මුදලක් දෙන බවට පොරොන්දු වී, ‘මන්ත්‍රීවරයා අධික මිලකට ඉඩම විකුණූ බවට’ ප්‍රකාශයක් ලබා දෙන ලෙස පොළඹවා ගැනීමට උත්සාහ කර තිබේ.

මෙම නීත්‍යනුකූල ගනුදෙනුව නීති විරෝධී එකක් ලෙස හඟවමින් දැනටමත් අසත්‍ය ප්‍රචාර යවා ඇති අතර, එම මඩ ප්‍රචාර නතර කිරීම සඳහා රුපියල් මිලියනයක් ඉල්ලා ඇත.