September 14, 2026

කටාර්හි දෝහා නුවර පැවැති 2026 ලෝක විශ්වවිද්‍යාල බර එසවීමේ ශූරතාවලියට එක්ව සිටි රටවල් 50ක ක්‍රීඩකයන් අතරින් එම තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වතාවට සහභාගී වූ විශ්වවිද්‍යාල ක්‍රීඩකයන් දෙදෙනාම පදක්කම් 6ක් දිනා ගනිමින් අතිවිශිෂ්ට ලෙස ඉතිහාසගත වූහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 4 වැනි වසරේ ඉගෙනුම ලබන, පොලොන්නරුවේ පදිංචි එල්.ජී.ඒ.එස්. ලියනගේදර කිලෝග්‍රෑම් 60 බර පන්තිය යටතේ තරඟ වැදිණි.

ඔහු Snatch, Clean and Jerk සහ සමස්ත එකතුව යන අංශ තුනෙන් රන් පදක්කම් 3ම දිනා ගනිමින් මෙලෙස අන්තර්ජාතික මට්ටමේ විශ්වවිද්‍යාල තරඟාවලියකදී ඉතිහාසගත විය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ 1 වැනි වසරේ ඉගෙනුම ලබන, ගල්ගමුවේ පදිංචි ටී.එම්.එන්.එස්. දිසානායක කිලෝග්‍රෑම් 65 බර පන්තිය යටතේ තරඟ වැදිණි.

ඔහුද Snatch, Clean and Jerk සහ සමස්ත එකතුව යන අංශ තුනෙන් ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් විය.

රටවල් 50ක ක්‍රීඩකයන් අතරින් පදක්කම් 6ක් රටට ගෙන ඒම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල බර එසවීම් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සටහන් වේ.

කටාර් එයාර්වේස් සේවයේ QR 662 දරන යානයෙන් අද (14) අලුයම 2.05ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණි මෙම ජයග්‍රාහකයන් දෙදෙනාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.