September 14, 2026

පවතින උණුසුම් කාලගුණය තවදුරටත් දැඩි වුවහොත් ඉදිරියේදී අනෙකුත් ජාතික උද්‍යාන ද තාවකාලිකව වසා දැමීමට සිදුවනු ඇතැයි වනජීවී උසස් නිලධාරියෙක් අනතුරු අඟවයි.

අධික රශ්මිය සහ දීර්ඝ කාලීන වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් සතුන් මුහුණ දෙන පීඩනය අවම කිරීම සඳහා යාල ජාතික උද්‍යානයේ 1 සහ 2 කොටස් අද (14) සිට ඔක්තෝබර් 15 දක්වා තාවකාලිකව වසා දැමීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබිණි.

කෙසේවෙතත් යාල උද්‍යානයේ 3, 4, 5 සහ 6 කොටස් සංචාරකයන් සඳහා විවෘතව තැබෙනු ඇත.

2026 ජනවාරි සිට ජූනි දක්වා කාලයේ වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණි සමස්ත සංචාරකයන් ගණන 1,381,079කි.

ඉන් 759,411ක් දේශීය සංචාරකයන් වන අතර විදේශීය සංචාරකයන් 621,668 පැමිණ තිබිණි.

යාල ජාතික උද්‍යානයට පැමිණි සංචාරකයන් 459,000කට වැඩි සංඛ්‍යාවක් ලබාදුන් ආදායම රුපියල් බිලියන 2.10ක් පමණ වේ.

උඩවලව ජාතික උද්‍යානයට සංචාරකයන් 219,465ක් පැමිණ ඇති අතර ආදායම රුපියල් මිලියන 927.5කි.

මින්නේරිය ජාතික උද්‍යානයේ ආදායම රුපියල් මිලියන 297.9ක් වේ.

හෝටන් තැන්නට සංචාරකයන් 196,651ක් පැමිණ ඇති අතර ඉපැයූ ආදායම රුපියල් මිලියන 264.3කි.

ශ්‍රී ලංකාවේ පිහිටි ජාතික උද්‍යාන 23න් බොහොමයක් වියළි කලාපයේ පිහිටා ඇති බැවින් පවතින වියළි කාලගුණය හමුවේ සතුන්ට අවශ්‍ය ජලය සහ පහසුකම් සැපයීමට වනජීවී බලධාරීන් පියවර ගනිමින් සිටී.

සංචාරක ව්‍යාපාරයට වඩා පරිසරය හා වනසතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමුඛතාව ලබාදෙන බව පාලනාධිකාරිය අවධාරණය කරයි.