September 14, 2026

පොලිස් කොමිසම විසින් ලබාදුන් උසස්වීමකින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බව කියමින් පොලිස් නිලධාරීන් 71 දෙනෙකු එකතු වී ගොනුකළ පෙත්සම් මාලාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබේ.

ඒ අනුව පොලිස් සැරයන්වරයකු ලෙස සිටි එම්.එල්.ඩී.ඩබ්ලිව්.කේ. ජයසේකරව (11 වන වගඋත්තරකරු) උප පොලිස් පරීක්ෂක (SI) තනතුරට උසස් කිරීම සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල බවත්, එය නියමිත පටිපාටියට අනුකූලව සිදුව ඇති බවත් අධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් කේ.බී. විජේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග විය.

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ 11 වැනි වගඋත්තරකරු ලබාගත් මෙම උසස්වීම අසාධාරණ ලෙස ලබාගත් එකක් නොවන බවයි.

2001 වසරේදී ඔහුට හිමිවීමට තිබූ නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීමට ඔහු වසර ගණනාවක් පුරා අඛණ්ඩව කළ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම උසස්වීම ලැබී ඇත.

මෙම ඉල්ලීම 2019 දී හදිසියේ මතුවූ එකක් නොවන අතර, වසර 20ක් තිස්සේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේද අනුමැතිය සහ සහය ඊට හිමිව තිබූ බව අධිකරණය නිරීක්ෂණය කළේය.

අදාළ සුදුසුකම් සපුරාලන නිලධාරීන්ට විශේෂ උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් පවතින බව පෙත්සම්කාර නිලධාරීන් පවා පිළිගෙන තිබේ.

ඒ අනුව 71 දෙනාගේ මූලික අයිතිවාසිකම් කඩවී නොමැති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ උසස්වීම නීත්‍යනුකූල බව තහවුරු කළේය.

මෙම නඩුවේදී 11 වැනි වගඋත්තරකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆායිසර් මුස්තාෆා, ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉයන් ප්‍රනාන්දු සහ සහීඩා බාරි පෙනී සිටියහ.