September 14, 2026

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ‘කලම්බෝ මැරතන් 2026’ අන්තර්ජාතික තරගාවලිය ඊයේ (13) කොළඹ ගාලු මුවදොර පිටියෙන් සාර්ථකව නිමාවට පත් විය.

රටවල් 25ක් නියෝජනය කරමින් විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 130කට අධික පිරිසක් ඇතුළුව දේශීය හා විදේශීය ධාවකයන් 5,000කට වැඩි පිරිසක් මෙම මහා තරගාවලිය සඳහා සහභාගී වූහ.

ජයග්‍රාහකයන් අතර රුපියල් මිලියන 12.83කට අධික තෑගි මුදලක් බෙදා දීමට සංවිධායකයන් කටයුතු කර ඇත.

තරග ප්‍රතිඵල සාරාංශය අනුව පූර්ණ මැරතන් තරගයේ (42km – පිරිමි) පළමු ස්ථානය උගන්ඩාවේ ජූලියස් ඕචියෙන්ග් පැය 2:18:54ක් වාර්තා කරමින් දිනාගෙන තිබේ.

දෙවැනි ස්ථානය පැය 2:20:43කින් තරගය නිම කළ කෙන්යාවේ ජෙෆ්රි බිර්ගෙන් හට හිමිවිය.

තෙවැනි ස්ථානය හිමිවූයේ ඉතියෝපියාවේ නෙගාසි ටූජි හට වන අතර ඔහු සටහන් කළ කාලය පැය 2:21:50ක් වේ.

පූර්ණ මැරතන් (42km – කාන්තා) තරගයේ දී ඉතියෝපියානු ක්‍රීඩිකාවෝ සියලු ස්ථාන දිනාගත් අතර, අයිනලෙම් කසාහුන් ටෙෆෙරි පැය 2:54:09ක කාලයකින් ප්‍රථම ස්ථානය දිනා ගත්තාය.

අර්ධ මැරතන් පිරිමි තරගයේ දී (21km) කෙන්යාවේ එඩ්වින් යෙබෙයි පැය 1:10:28කින් ප්‍රථම ස්ථානය දිනාගත් අතර, ශ්‍රී ලංකාවේ ඩබ්ලිව්.එම්.එස්. සරත්කුමාර පැය 1:10:52කින් දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකාවේ මෙත්මි රොසටා පැය 1:17:50ක කාලයකින් කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර, ශ්‍රී ලංකාවේ චාමිනී දෙවැනි න ස්ථානය දිනා ගත්තාය.

කිලෝමීටර් 10 තරගයේ පිරිමි සහ කාන්තා දෙඅංශයේම සියලුම ජයග්‍රාහී ස්ථාන ශ්‍රී ලාංකික ධාවකයන් විසින් අත්කර ගන්නා ලදී.

පිරිමි අංශයෙන් මහේන්ද්‍රන් ගෝබිනාථන් (මිනිත්තු 32:16) සහ කාන්තා අංශයෙන් පී.ජී.එස්.එස්. විමලසූරිය (මිනිත්තු 39:08) ප්‍රථම ස්ථාන දිනා ගැනීමට සමත් වූහ.