September 14, 2026

පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප අද (14) සිට තාවකාලිකව සංචාරකයන් සඳහා වසාතැබීමට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව, අද දින සිට ඔක්තෝබර් මස 15 වැනි දින දක්වා මාසයක කාලයක් සඳහා මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇත.

විවිධ ක්ෂීරපායී විශේෂ 44ක්, පක්ෂීන් 215ක්, උරගයින් 47ක් සහ මත්ස්‍ය විශේෂ 21කගේ වාසස්ථානයක් බවට පත්ව ඇති යාල වනෝද්‍යානයේ සංචාරක ආකර්ෂණය ලැබෙන වැඩිම කාලය වනුයේ සාමාන්‍යයෙන් අගෝස්තු සිට මාර්තු දක්වා වූ කාලයයි.

කෙසේවෙතත්, මේ වසරේ එම සංචාරක සමයට එල් නිනෝ කාලගුණ තත්ත්වය දැඩි ලෙස බලපා තිබීම හේතුවෙන් වනෝද්‍යානය තුළ ජල මූලාශ්‍ර රැසක් සිඳීගොස් ඇත.

මෙම අධික උණුසුම නිසා වනෝද්‍යානයේ වාසය කරන සතුන්ට දැඩි පානීය ජල ගැටළුවක් මෙන්ම ගහකොළ සහ තණබිම් වියළී යාම නිසා ආහාර හිඟයකටද මුහුණ දීමට සිදුව තිබෙන බව වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

පවතින මෙම අර්බුදය හමුවේ සතුන්ගේ පිපාසය සංසිඳුවීම සඳහා වනජීවි නිලධාරීන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව, මැණික් ගඟේ ස්ථාන 4කින් සූර්ය පැනල මෝටර ආධාරයෙන් ලබාගන්නා ජලය භූගත නළ හරහා වනෝද්‍යානයේ පොකුණු වෙත මුදාහැරීම සිදුකෙරේ.

මීට අමතරව, දෛනිකව ලීටර් ලක්ෂ දෙකක පමණ ජල ධාරිතාවක් බවුසර් මඟින් රැගෙන ගොස් කෘත්‍රිම හා ස්වභාවික පොකුණු පිරවීමටද නිලධාරීන් කටයුතු යොදා තිබේ.

වියළි කාලගුණයත් සමඟ ආහාර සහ ජලය සොයා සතුන් ගමන් කිරීමේදී සංචාරක වාහන හේතුවෙන් සිදුවන බාධා අවම කිරීම සහ සතුන්ට නිදහසේ ගැවසීමට ඉඩ සැලසීම මෙලෙස වනෝද්‍යානය වසා දැමීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.