September 13, 2026

පාරිභෝගික ආරක්ෂණ නීති හා විධාන උල්ලංඝනය කරමින් කල් ඉකුත් වූ පාන වර්ග විකිණීම සඳහා ප්‍රදර්ශනය කර තිබීම සම්බන්ධයෙන් රිචඩ් පීරිස් ඩිස්ට්‍රිබියුටර්ස් සමාගමට අයත් Arpico Super වෙළෙඳසැල් දෙකකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

මෙම නඩු දෙකට අදාළ වැටළීම්වලින් එක් වැටළීමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත විමර්ශන නිලධාරීන් විසින් සිදුකර ඇති අතර, අනෙක් වැටළීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකර ඇත.

එහිදී විධාන අංක 52 උල්ලංඝනය කරමින්, Arpico Super කොට්ටාව ශාඛාවේ, 2026.05.09 දිනෙන් කල් ඉකුත් වූ මිලිලීටර් 200 නිල් කටරොළු බීම බෝතල්, අනෙකුත් භාණ්ඩ සමඟ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තබා තිබීම සම්බන්ධයෙන් නඩු පවරා තිබේ. එම වරදට අධිකරණය විසින් පනවා ඇති දඩ මුදල රු. 75,000/- කි.

Arpico Super Center – හෝමාගම, ශාඛාවේ, පාරිභෝගිකයා නොමඟ යවන අයුරින් 2026.04.12 දිනෙන් කල් ඉකුත් වූ ලීටර් 1 සිසිල් බීම ඇසුරුම් විකිණීම සඳහා ප්‍රදර්ශනය කර තිබීම සම්බන්ධයෙන්ද නඩු පවරා තිබේ. ඊට නියම කර ඇති දඩ මුදල රු. 50,000/- කි.

2026 සැප්තැම්බර් 10 දින මෙම නඩු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, එල්ල වූ චෝදනාවලට විත්තිකාර සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව, ගරු අධිකරණය විසින් රු. 125,000/-ක සමස්ත දඩ මුදලක් නියම කර ඇත.