September 12, 2026

රජයේ ‘ජීවන නගර’ (Life Cities) සංවර්ධන වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි නගර 26 ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 65 ක මුදලක් වෙන්කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

කොළඹදී මෙම වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රජය විසින් මුලින්ම නගර 10 ක් තෝරාගෙන ඇති බවයි.

එක් එක් නගරවල අවශ්‍යතාවලට සහ අනන්‍යතාවලට ගැලපෙන පරිදි ජනතාව මුල් කරගත් මෙන්ම තිරසාර නාගරික සංවර්ධනයක් කෙරෙහි මෙම වැඩසටහන අවධානය යොමුකරන බව ඔහු පැවසීය.

“අමාත්‍යවරුන් සහ ආණ්ඩුකාරවරුන් වැනි පළාත් පාලනය කරන අයට සහ බලය තියෙන අයට නගර සංවර්ධනය කිරීම ඉතාම පහසුයි. නමුත් ඇතැම් නගරවල හදවත හෝ ආත්මය වෙන්නේ පාසලක් හෝ වෙනත් ස්ථානයක් විය හැකියි” ඔහු පැවසීය.

එබැවින්, සෑම නගරයකම අනන්‍යතාවය සහ අවශ්‍යතා පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව නාගරික සංවර්ධන කටයුතු සිදු කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කාලයත් සමඟ නගරයක් පිළිබඳ සංකල්පය වෙනස් වී ඇති බවත්, ජනතාවට සුවපහසුව ජීවත් විය හැකි බව තහවුරු කරමින් නගර ඒවායේ ස්වභාවික අනන්‍යතාවයට අනුව සංවර්ධනය කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම වැඩසටහනට සම්බන්ධ මහානගර සභා සහ පළාත් සභාවලට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවද ඔහු කියාසිටියේය.

රජය විසින් මෙම සංවර්ධන සැලසුම් සකස් කර ඇත්තේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව බව අමාත්‍යවරයා පැවසීය.

මෙම වැඩසටහන කෙරෙහි ඇති මහජන විශ්වාසය ආරක්ෂා වන බවට වගබලා ගන්නා ලෙස අමාත්‍ය රත්නායක නගරාධිපතිවරුන්ගෙන් සහ පළාත් පාලන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.

“අපි මුදල් වෙන්කරලා තියෙන්නේ. හෙට ඉඳන් වැඩ පටන් ගන්න. ඉදිරි කටයුතු සඳහා මුදල් වෙන්කිරීම සිදු කරන්නේ නගරාධිපතිවරුන් පෙන්වන ප්‍රගතිය පදනම් කරගෙනයි” ඔහු පැවසීය.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා වන සංවර්ධන සැලසුම් අමාත්‍ය රත්නායක සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගන්වන ලදී.

ඉන් අනතුරුව මාතර, මඩකලපුව, මාතලේ, වවුනියාව, බදුල්ල, යාපනය, හලාවත, හැටන්, තලාව සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවල පළාත් පාලන නියෝජිතයන් වෙත මෙම සැලසුම් භාරදෙන ලදී.