September 7, 2026

ලක්සම්බර්ග්හි ආර්ථික, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යුහයන්, බලශක්ති සහ සංචාරක අමාත්‍ය ලෙක්ස් ඩෙල්ස් ඉන්දියාවේ මධ්‍යම අමාත්‍ය ආචාර්ය ජිතේන්ද්‍ර සිං හමුවී සාකච්ඡා කර තිබේ.

එහිදී දෙරට අතර අභ්‍යවකාශ අංශය මෙන්ම නැගී එන තාක්ෂණයන් සහ ජීව විද්‍යාව කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කරමින්, සහයෝගීතාව සඳහා නිශ්චිත ක්ෂේත්‍ර හඳුනා ගැනීමට අමාත්‍යවරයා යෝජනා කර ඇත.

ඉන්දීය රජයේ නිවේදනයකට අනුව, දෙරට අතර යෝජිත යාන්ත්‍රණය මඟින් කෘත්‍රිම බුද්ධිය (AI), ක්වොන්ටම් තාක්ෂණය, උසස් ද්‍රව්‍ය සහ ජීව විද්‍යාව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ගවේෂණය කිරීමට අපේක්ෂා කෙරේ.

2027 ජනවාරි මාසයේදී ඉන්දියාවේ සිදු කිරීමට නියමිත ලක්සම්බර්ග් රාජ්‍ය සංචාරයට පෙර නිශ්චිත දායකත්වයන් සහ සූදානම මනා ලෙස සිදු කර ගැනීමටද මෙමඟින් දෙපාර්ශ්වයටම සහමුවනු ඇත.

අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඉන්දීය-ලක්සම්බර්ග් සහයෝගීතාවයේ වත්මන් තත්ත්වය, අනාගත සංවර්ධන කටයුතු, වැඩිදුර ආයතනික හා වාණිජමය සහයෝගීතා අවස්ථා මෙන්ම යෝජිත රාජ්‍ය සංචාරය සඳහා වන සූදානම මෙම ද්විපාර්ශ්වික හමුවේදී පුළුල් ලෙස සමාලෝචනය කර තිබේ.

ලක්සම්බර්ග් නියෝජිත පිරිසට අමාත්‍ය මණ්ඩලයේ, ආර්ථික ප්‍රතිපත්ති, කර්මාන්ත, නව තාක්ෂණ සහ පර්යේෂණ අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ලක්සම්බර්ග් අභ්‍යවකාශ නියෝජිතායතනයේ නියෝජිතයෝ ද ඇතුළත් වූහ. ඉන්දීය නියෝජිත පිරිස නියෝජනය කරමින් විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුව, අභ්‍යවකාශ දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.

ඉන්දියාව සහ ලක්සම්බර්ග් අතර සබඳතාවල උණුසුම සහ ශක්තිමත් පදනම නව හා ගැඹුරු ක්ෂේත්‍ර කරා සහයෝගීතාව පුළුල් කිරීමට හිතකර පසුබිමක් සපයන බව ආචාර්ය ජිනේන්ද්‍ර සිං ප්‍රකාශ කළේය.

2020 වසරේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ලක්සම්බර්ග් අගමැතිවරයා අතර පැවති අන්තර්ජාල හමුව සිහිපත් කළ ඔහු, විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන ක්ෂේත්‍රවල දෙරට අතර පවතින සැලකිය යුතු පොදු පසුබිම ද අවධාරණය කළේය. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්වන අයුරින් මතුවෙමින් පවතින නව ක්ෂේත්‍රවලදී දෙපාර්ශ්වයේ ශක්තීන් එකතු කර ගත හැකි බවද සිං වැඩිදුරටත් සඳහන් කළේය.