September 7, 2026

පෙර වසරේ අවසාන භාගයේදී ලැබුණු අනුමැතියෙන් පසු, 2025 ජූලි මාසයේදී චීන මහජන ජනරජය විසින් ටිබෙට් ස්වයංපාලන කලාපයේ ඇමරිකානු ඩොලර් බිලියන 167 ක දැවැන්ත ජල විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

2030 ගණන්වල මුල් භාගයේදී වැඩ අවසන් වූ විට ගිගාවොට් 60 ක පමණ විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති මෙම යෝජනා ක්‍රමය,’සියාං’ නමින් හැඳින්වෙන යාර්ලුං ට්සාංපෝ ගඟේ පහළ ප්‍රදේශය දිගේ ඉදිවන අනුක්‍රමික ජල විදුලි මධ්‍යස්ථාන පහකින් සමන්විත වේ.

මෙය දැවැන්ත ව්‍යාපෘතියක් වුවද, එය බරපතළ ප්‍රශ්නයක් මතු කරයි.

යම් හෙයකින් දැවැන්ත මානුෂීය පිරිවැයක් දැරීමට සිදු වුවද චීනය මෙම ව්‍යාපෘතිය අත්හරින්නේ නැතිව ඉදිරියටම යයිද?

ඇත්ත වශයෙන්ම මෙම ව්‍යාපෘතිය කාල බෝම්බයකි. ලෝකයේ විශාලතම ජල විදුලි ව්‍යාපෘතියට කෙළින්ම යටින් ක්‍රියාකාරී භූ කම්පන රේඛාවක් පිහිටා ඇති බවත්, එය ඉදිවෙමින් පවතින දැවැන්ත වේල්ලට තර්ජනයක් වී ඇති බවත් ‘සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත වාර්තා කළේය.

මෙය විදේශීය විචාරකයින්ගේ අනවශ්‍ය බිය ගැන්වීමක් නොව, චීන භූ විද්‍යාඥයින් විසින්ම Sedimentary Geology and Tethyan Geology සඟරාවේ මැන්ඩරින් භාෂාවෙන් පළ කරන ලද නිගමනයකි.

චෙන්ඩු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සහ චීන භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානයේ සිවිල්-හමුදා ඒකාබද්ධතා මධ්‍යස්ථානයේ විද්වතුන් ඉදි කරන්නන්ගෙන් ඉල්ලා සිටියේ කඳුකර බෑවුම්වල ස්ථාවරත්වය ශක්තිමත් කරන ලෙසත්, නායයෑම් සහ කඩාවැටීම් අවම කිරීම සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙසත්ය.

එහෙත්, ස්වභාවධර්මය පාලනය කිරීමේ සහ ජයග්‍රාහී ප්‍රගතියේ තම ප්‍රතිරූපයට කැළලක් විය හැකි අප්‍රසන්න සත්‍යයන් නොසලකා හැරීමේ පුරුද්දක් චීන මහජන ජනරජය සතුව ඇත.

මෙම කලාපයේ පවතින භූ කම්පන අස්ථාවරභාවය මනාව ලේඛනගත වී ඇත. මෙම ව්‍යාපෘතියේ කේන්ද්‍රස්ථානය වන පෙමාකෝ (Pemakoe), ටිබෙටයේ වඩාත්ම පූජනීය ස්ථානයකි. එය ටිබෙට් ජනප්‍රවාදවල අර්බුදකාරී අවස්ථාවලදී රැකවරණ ලැබෙන අභයභූමියක් ලෙස ගෞරවයට පාත්‍ර වන “බෙයුල්” නමින් හැඳින්වෙන සැඟවුණු නිම්නයකි.

මෙම පසුබිම හමුවේ, වර්තමාන චීන භූ විද්‍යාඥයන්ගේ අනතුරු ඇඟවීම් ද දැඩි ලෙස සැලකිල්ලට ගත යුතුව තිබේ. හිම යුගයේ සිටම ඉතා ක්‍රියාකාරී මට්ටමක පවතින ‘පයිෂෙන්’ (Paizhen) භූ කම්පන රේඛාව, ඉදිකෙරෙන වේලි, මාර්ග, පාලම්, උමං මාර්ග සහ ජලාශවල ස්ථාවරත්වයට දැවැන්ත බලපෑමක් එල්ල කරනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.