September 8, 2026

චීන තරගකාරීත්වය, ඇමරිකානු තීරුබදු සහ විදුලි වාහන වෙත සංක්‍රමණය වීම යන අභියෝග හමුවේ Jaguar Land Rover(JLR) සමාගම මුහුණ දී සිටින දුෂ්කරතා හේතුවෙන්,ඉදිරි වසර දෙක තුළ රැකියා 4,000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබේ. මෙම කප්පාදුවලින් වැඩි කොටසක් එක්සත් රාජධානියේ පිහිටි ප්‍රධාන කාර්යාලය කෙරෙහි බලපා ඇත.

ගෝලීය වශයෙන් සේවකයන් 43,000කට රැකියා සපයන මෙම සමාගමට, පසුගිය වසරේ ඇති වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් නිෂ්පාදන කටයුතු නවතා දැමීමට සිදුවීම දිගුකාලීන ගැටලු තවත් උග්‍ර කර ඇති අතර, ඇමරිකානු තීරුබදු සහ සයිබර් ප්‍රහාරය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ තම විකුණුම් ආදායම පවුම් බිලියන 29 සිට 22.9 දක්වා පහත වැටී තිබේ.ඇමරිකාවේ කම්හලක් නොමැති වීමද JLR සමාගමට දැඩි බලපෑමක් වී ඇත.

ප්‍රධාන විධායක නිලධාරී පීබී බාලාජී ප්‍රකාශ කර ඇත්තේ, දැඩි තරගකාරීත්වයක් සහ භූ-දේශපාලනික අවිනිශ්චිතතාවක් මධ්‍යයේ මෝටර් රථ කර්මාන්තය අභියෝගවලට මුහුණ දී සිටින බවයි.

ඔක්තෝබර් 4 වැනි දින දක්වා විවෘතව පවතින ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වීමේ ක්‍රමවේදය හරහා මෙම රැකියා කප්පාදුව සිදු කිරීමට JLR සමාගම බලාපොරොත්තු වේ.

කෙසේවෙතත්,අවශ්‍ය වුවහොත් ඊට වඩා අඩු වරප්‍රසාද යටතේ අනිවාර්යයෙන් සේවයෙන් ඉවත්කිරීම් කිරීමටද සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් බේලි පවසා ඇත්තේ, JLR යනු බ්‍රිතාන්‍ය ආර්ථිකයට අතිශයින් වැදගත් මධ්‍යස්ථානයක් වන අතර, එහි සැපයුම් දාමය මත බොහෝ රැකියා යැපෙන බවයි. කෙසේවෙතත්, මෙම රැකියා කප්පාදුව සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට බරපතල පහරක් බව වෘත්තීය සමිති සහ දේශපාලනඥයන් පෙන්වා දී තිබේ.

මේ අතර, බ්‍රිතාන්‍ය රජය විසින් හඳුන්වා දී ඇති ශුන්‍ය විමෝචන වාහන විධානය (ZEV mandate) සහ ඉහළ බලශක්ති පිරිවැය බ්‍රිතාන්‍ය මෝටර් රථ කර්මාන්තය අඩපණ කරමින් ඇති බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරයි. කෙසේ වෙතත්, බලපෑමට ලක්වන සේවකයින්ට උපරිම සහයෝගය ලබා දීමට කටයුතු කරන බව රජය විසින් ප්‍රකාශ කර ඇත.