September 8, 2026

මොස්කව් සහ බර්ලිනය අතර රාජ්‍යතාන්ත්‍රික උණුසුම ඉහළ යමින් පවතින පසුබිමක, ශාන්ත පීටර්ස්බර්ග්හි පිහිටි ජර්මන් කොන්සල් ජනරාල් කාර්යාලය වසාදමන ලෙස රුසියාව ජර්මනියට නියෝග කර තිබේ.

සැප්තැම්බර් 18 වැනිදාට පෙර ජර්මන් කොන්සල් කාර්යාලය සිය මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කළයුතු අතර, එහි සියලුම සේවකයන් ද එදිනට පෙර රුසියාවෙන් පිටව යා යුතු බව රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ජර්මනියේ බොන් නුවර පිහිටි රුසියානු කොන්සල් කාර්යාලය සහ බර්ලින් නුවර පිහිටි රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය වසාදැමීමට ගත් තීරණයට ප්‍රතිචාරයක් ලෙස රුසියාව මෙම පියවර ගෙන තිබේ.

අගෝස්තු 4 වැනි දින ලීප්සිග්/හාලේ ගුවන්තොටුපළේදී සිදුවූ බව කියන ඩ්‍රෝන ප්‍රහාර උත්සාහයක් පිටුපස රුසියාව සිටින බවට චෝදනා කරමින් ජර්මනිය එම ක්‍රියාමාර්ග අනුගමනය කළේය.

එදින එම ගුවන්තොටුපළේ යුක්‍රේන ගුවන් යානයක් අසල තිබී පුපුරන ද්‍රව්‍ය පිරවූ ඩ්‍රෝන යානයක් හමුවූ අතර පසුව එය නිෂ්ක්‍රීය කරන ලදී.

කෙසේවෙතත්, රුසියාව මෙම සිදුවීමට සම්බන්ධ වීම තරයේ ප්‍රතික්ෂේප කරමින් ජර්මනියේ චෝදනා බැහැර කර ඇත.

මීට අමතරව, රුසියාව තුළ ක්‍රියාත්මක වන්නා වූ ජර්මනියේ Goethe-Institute සංස්කෘතික මධ්‍යස්ථානයේ ද මෙහෙයුම් නවත්වන ලෙස රුසියාව නියෝග කර ඇති අතර, ඒහි කාර්ය මණ්ඩලයටද සැප්තැම්බර් 13 වැනි දිනට පෙර රටින් පිටව යන ලෙස දන්වා තිබේ.

දෙරට අතර සබඳතා තවදුරටත් බිදවැටීම සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශය බර්ලිනයට දොස් පවරමින් පවසා ඇත්තේ, රටවල් දෙක අතර නව උණුසුම්කාරී තත්ත්වයක් ඇති කිරීමට ජර්මනිය මුල් වූ බවයි.

මේ අතර, රුසියාවේ මෙම තීරණය විවේචනය කර ඇති ජර්මනිය, ශාන්ත පීටර්ස්බර්ග්හි පිහිටි තම කොන්සල් කාර්යාලය වසාදැමීම කණගාටුදායක වරදක් ලෙස හඳුන්වා දී ඇති අතර, එය දෙරට අතර සබඳතා යථා තත්ත්වයට පත්කිරීම වඩාත් අපහසු කරවන්නක් බවද පවසා ඇත.