September 6, 2026

ශාන්තිකර කලාපීය කටයුතුවලට භූ-දේශපාලනික තරගකාරීත්වයක් එක්කිරීමට සහ කලාපීය පොදු එකඟතාවන්ට බාධා කිරීමට චීනය දරන උත්සාහයන් කෙරෙහි ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් යොමු විය යුතු බව තායිවාන විදේශ කටයුතු නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.

පසුගිය සතියේ පැවැති 55 වන ශාන්තිකර දූපත් සමුළුවට අනුබද්ධිත වැඩසටහන් සඳහා තායිවාන විදේශ අමාත්‍ය ලින් ජියා-ලුංගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් පලාවු රාජ්‍යයේ සංචාරයක නිරත විය. තායිවාන පුවත්පත් වාර්තා අනුව, තායිවාන නිලධාරියා මෙම අදහස් පළකර ඇත්තේ එම සංචාරයෙන් අනතුරුවයි.

මෙම සමුළුව සඳහා ඇතැම් ශාන්තිකර දූපත් නායකයන් පමණක් සහභාගී වීම, කලාපීය සංවිධානය තුළ මතභේද පවතින බවට මත පළවීමට හේතු වී තිබිණි. සමුළුව නියෝජනය කළ රාජ්‍යයන් 13 කින් සහභාගී වී සිටියේ එම රටවල රාජ්‍ය නායකයන් හෝ ආණ්ඩුවේ ප්‍රධානීන්ය. කෙසේ වෙතත්, ෆීජී, නිව් කැලිඩෝනියාව, වැනුආටු සහ සමෝවා යන රටවල් වෙනුවෙන් සහභාගී වී සිටියේ අමාත්‍යවරුන්ය.

එලෙස නියෝජනය වන මට්ටම්වල වෙනස්කම් පැවතීම සාමාන්‍ය දෙයක් බවත්, එය පමණක් පදනම් කරගනිමින් ශාන්තිකර කලාපයේ එකමුතුකම බිඳවැටී ඇති බවට නිගමනය නොකළ යුතු බවත් තායිවාන නිලධාරියා පෙන්වා දී ඇත. තායිවානය 1993 වසරේ සිට “තායිවානය/චීන ජනරජය” යන නාමය යටතේ සංවර්ධන පාර්ශවකරුවෙකු ලෙස ශාන්තිකර දූපත් සමුළුවට අදාළ ක්‍රියාවලීන් සඳහා සක්‍රියව දායක වේ.

පරස්පර ගෞරවය, පොදු එකඟතාව සහ කලාපීය සහයෝගීතාව අගය කරන ශාන්තිකර ක්‍රමවේදයට තායිපේ පාලනය සැමවිටම ගෞරව කරන බවද එම නිලධාරියා සඳහන් කළේය.

තායිවානයේ මැදිහත්වීම ශාන්තිකර කලාපයේ ප්‍රමුඛතාවන්ට සහාය වීම සඳහා මිස, තායිවානය හෝ චීනය අතරින් එකක් තෝරා ගැනීමට එම රටවලට බලපෑම් කිරීමට නොවන බව තායිවාන පාලනය අවධාරණය කරයි.

කෙසේ වෙතත්, බීජිං පාලනය කලාපය තුළ වඩ වඩාත් බාධාකාරී ලෙස කටයුතු කරන බවට තායිවාන නිලධාරියා චෝදනා කළේය. චීනයේ හමුදාමය ක්‍රියාකාරකම් සහ වර්ධනය වන දේශපාලන බලපෑම් හමුවේ තම ආරක්ෂාව මෙන්ම දේශපාලනික ස්වාධීනත්වය පිළිබඳවද ශාන්තිකර කලාපීය රාජ්‍යයන් අතර බරපතල කනස්සල්ලක් මතුව තිබේ.

මෙම තත්ත්වය වඩාත් පැහැදිලි වූයේ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල පරීක්ෂණවල පාරදෘශ්‍යභාවය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක සිදුවීමකිනි. චීනය ඇතුළුව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල පරීක්ෂණ පවත්වන රටවල්, ඒ පිළිබඳව පූර්ව දැනුම්දීම් කළ යුතු බවටත් වැඩි පාරදෘශ්‍යභාවයකින් කටයුතු කළ යුතු බවටත් පලාවු ජනාධිපති සුරැන්ගල් විප්ස් ජූනියර් ඉල්ලීමක් කර තිබිණි. නමුත් නාවුරු රාජ්‍යය ඊට විරුද්ධත්වය පළකළ බව තායිපේ ටයිම්ස් වාර්තා කළේය.

මෙම සිදුවීම ශාන්තිකර කලාපයේ එකමුතුකමට එල්ල වූ බරපතල අභියෝගයක් බව පැවසූ තායිවාන නිලධාරියා, බීජිං පාලනය සමඟ සමීප සබඳතා පවත්වන ආණ්ඩු, ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් පොදු කලාපීය තීරණවලට එළඹීමට මැලිබවක් දක්වන බව මෙමගින් පෙන්නුම් කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.