September 2, 2026

භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඩොලර් බිලියනයක පමණ මුදලක් නීතිවිරෝධී ලෙස විදේශයන් වෙත යැවීමේ සිද්ධියට අදාළව, ශ්‍රී ලංකාවේ බැංකු මගින් ලබාගත් අත්පිට මුදල් ගෙවීම්වලට (advance payments) අනුරූප වන පරිදි එම විදේශීය අපනයනකරුවන් විසින් සිදුකර ඇති ආනයනයන් පිළිබඳව සෘජුවම හෝ බැංකු හරහා විමර්ශනය කර වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) නියෝග කළේය.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ‘A Y Investments Impex’ පෞද්ගලික සමාගමේ පළමු සැකකරු වන ජිෆ්රි මොහොමඩ් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. එම්. සුහයිර් ඉදිරිපත් කළ ලිඛිත ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

මෙරට සමාගම් 89ක් විසින් භාණ්ඩ ආනයනය සඳහා විදේශීය අපනයනකරුවන්ට විශාල මුදලක් යවා ඇති නමුත් ඊට අදාළ භාණ්ඩ මෙරටට ලැබී නොමැති බවට පොලිසිය චෝදනා කරන මෙම සිද්ධියේදී, තමන්ට සාධාරණ සහ පූර්ණ විමර්ශනයක් ලැබීමට හිමිකම ඇති බව සැකකරු අධිකරණයට දැනුම් දී තිබේ.

චීනය සහ ඉන්දියාව වැනි රටවලින් අදාළ භාණ්ඩ මෙරටට එවා ඇති බවත්, එම භාණ්ඩ වරින් වර ආනයනකරුවන් විසින් නිදහස් කරගෙන ඇති බවත් තමන් විශ්වාස කරන බැවින්, බැංකු හරහා යවන ලද මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය බව ද සැකකරු වැඩිදුරටත් සඳහන් කර ඇත.

පළමු සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ, තම සේවාදායකයා හෝ ඔහුට අනුබද්ධ සමාගම් 34 ආනයනකරුවන් නොවන අතර, ඔවුන් සිදුකර ඇත්තේ සීමිත මෙහෙයුම් සේවාවක් පමණක් බවයි.

තැරැව්කරුවන්ගෙන් ලබෙන රුපියල් මුදල් බැංකු වෙත ලබාදීම පමණක් ඔවුන් විසින් සිදුකර ඇති අතර, බැංකු විසින් අදාළ පරීක්ෂාවන් සිදුකිරීමෙන් පසුව එම මුදල් විදේශ විනිමය බවට පත්කර විදේශීය අපනයනකරුවන්ට යවා ඇති බව ද නීතිඥවරයා පැවසීය.

එසේම, බැංකු හරහා අත්පිට මුදල් ගෙවීම් සිදුකළ කිසිදු ලාංකික ආනයනකරුවකු භාණ්ඩ ලබාගැනීමකින් තොරව මෙලෙස විශාල මුදලක් විදේශයන් වෙත නොයවන බව ද අධිකරණයට දැනුම්දෙන ලදී.

මීට අමතරව, අදාළ සමාගම් 89න් තම සේවාදායකයාගේ සමාගම් 34 හැර වෙනත් සමාගම් පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බව ද නීතිඥවරයා පෙන්වාදුන්නේය.

ආනයන හා අපනයන (පාලන) පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි වගන්තිය ප්‍රකාරව එවකට ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ‘2011 අංක 1 දරන විශේෂ ආනයන බලපත්‍ර සහ ගෙවීම් රෙගුලාසි’ යටතේ මෙලෙස අත්පිට මුදල් ගෙවීම් සිදුකිරීම නීත්‍යානුකූල වන බවත්, 2026 ජූනි මස සංශෝධනය කරන ලද මෙම රෙගුලාසි දැනට ද බලපැවැත්වෙන බවත් නීතිඥවරයා පැවසීය. එහෙත් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවල මෙම රෙගුලාසි ගැන සඳහන් කර නොමැති බව ද ඔහු කියාසිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බැංකු නිලධාරීන් සිව්දෙනා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් කියාසිටියේ ඔවුන් කනිෂ්ඨ නිලධාරීන් වන බැවින් කිසිදු වරදක් සිදුකර නොමැති බවයි. ඒ අනුව ඔවුන් සඳහා ඇප ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේය.

නඩුව නැවත විභාග කිරීම සැප්තැම්බර් 03 වනදාට නියමිතය.