August 31, 2026

යාපනය, නෙල්ලියාඩි ප්‍රදේශයේ පිහිටි විශ්‍රාමික රජයේ නිලධාරියකුගේ නිවසකට බීමත්ව අතුළු වී නිවසට සහ දේපළවලට හානි කළ බවට චෝදනා කරමින්, වඩමාරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගනේෂරූබන් ඇතුළු ඔහුගේ මිතුරන් කිහිපදෙනකු නෙල්ලියාඩි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (අගෝස්තු 30) මධ්‍යම රාත්‍රියට ආසන්න වෙලාවක, අධික ලෙස මත්පැන් පානය කර සිටි මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ ඔහුගේ මිතුරන් පිරිස නෙල්ලියාඩි නගරයේ පිහිටි අදාළ නිවසට අනිසි ලෙස ඇතුළු වී ඇති බවට වාර්තා වේ.

ඔවුන් නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවට (CCTV) හානිකර, බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී එහි සිටි පිරිසට මරණ තර්ජන එල්ල කර ඇති බවට ද චෝදනා එල්ල වී ඇත.

සිද්ධියෙන් පසුව, නිවසේ හිමිකරු විසින් 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නෙල්ලියාඩි පොලිස් නිලධාරීන් ස්ථානයට පැමිණ අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ ඔහුගේ මිතුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් සිටී.