August 31, 2026

කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය තුළදී යතුරුපැදිකරුවකුගේ පහරකෑමට ලක් වූ කොළඹ අධිකරණ වෛද්‍ය ආයතනයේ රියදුරකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පහරකෑමට ලක්වූ රියැදුරා මෘතශරීරයක් රැගෙන ඒමට ජාතික රෝහලට ගොස් නැවත පැමිණෙන විටදී රෝහලේ මාර්ගය අවහිර වන අයුරින් යතුරුපැදියක් නවතා තිබී ඇත.

පසුව රියදුරා යතුරුපැදිය ඉවත් කරගන්නා ලෙස පැවසූ විට, ඉන් කිපුණු අදාළ පුද්ගලයා හිස්වැසුමෙන් රියදුරට අමානුෂික ලෙස පහරදී ඇත.

මෙලෙස පහරදුන් පුද්ගලයා මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති අතර, මෙම පුද්ගලයාගේ මව සහ පියා ජාතික රෝහලෙහි සේවකයන් බවද අනාවරණය වී ඇත.