August 30, 2026

2027 පෙබරවාරි 14 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ සමාරම්භක කාන්තා චැම්පියන්ස් කුසලාන (Women’s Champions Trophy) ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත්කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට රජය මගින් පත්කරන ලද පරිවර්තන කමිටුවක් යටතේ පාලනය වීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී තිබේ. අයි.සී.සී. නීතිරීතිවලට අනුව සාමාජික රටවල ක්‍රිකට් පාලක මණ්ඩල දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වුණු පාලක මණ්ඩලයක් මගින් පාලනය විය යුතුය. රාජ්‍ය අතපෙවීම් පිළිනොගන්නා අයි.සී.සී.ය, පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාපිත සංශෝධන සිදුකර හැකි ඉක්මනින් නිලවරණයක් පවත්වන ලෙස නැවත නැවතත් අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් තහවුරු කර ඇත්තේ, තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ඇති බවත්, තරගාවලිය පැවැත්වෙන නව ස්ථානය ඉදිරි අයි.සී.සී. මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීමට නියමිත බවත්ය.

මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙන්ම රටේ සංචාරක ක්ෂේත්‍රයට ද විශාල මූල්‍යමය පාඩුවක් සිදුවේ. තරගාවලිය වෙනුවෙන් පැමිණෙන කණ්ඩායම්, නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ ප්‍රේක්ෂකයින් මගින් රටට ලැබීමට තිබූ විදේශ විනිමය ආදායම මෙයින් අහිමි වී යයි. මීට පෙර 2023 වසරේදී ද එවකට සිටි ක්‍රීඩා අමාත්‍යවරයා අන්තර්කාලීන කමිටුවක් පත්කිරීම නිසා 2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වූ අතර එය දකුණු අප්‍රිකාවට ගෙනයන ලදී.

මීට අමතරව, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද මෙයින් දැඩි බලපෑමක් එල්ල වේ. කණ්ඩායම් 6ක් තරග වදින මෙම තරගාවලියට ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන කණ්ඩායම් 5 සහ සත්කාරක රට සුදුසුකම් ලබයි. ශ්‍රී ලංකාව දැනට පසුවන්නේ 6 වැනි ස්ථානයේ බැවින්, තරගාවලිය වෙනත් රටකට ගෙනයෑම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියට ක්‍රීඩාකිරීමේ අවස්ථාව පවා අහිමි වී යාමේ දැඩි අවදානමක් මතුව ඇත.