August 25, 2026

පෞද්ගලික අංශයේ ඉන්ධන සැපයුම්කරුවන්ට ලබා දෙන රුපියල් බිලියන 2.5ක සහනාධාරය වහාම අහෝසි කිරීමට රජය පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

“දේශීය ඉන්ධන වෙළඳපොළට විදේශීය ආයෝජකයන් හතර දෙනෙකුට අවස්ථාව ලබා දුන්නේ ඔවුන්ට මුදල් ආයෝජනය කර ලාභයක් ලැබීමටයි. එවැනි තත්ත්වයක් තුළ, ශ්‍රී ලංකා රජය විසින් මෙම විදේශීය සමාගම්වලට සහනාධාර ගෙවීම නොකළ යුතු දෙයක්.” යනුවෙන් මේ සම්බන්යෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය

මීට අමතරව ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික පසුබැස්මකට ලක්විය හැකි බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු බවයි.

“2022 වසරේ ඇති වූ ආර්ථික බංකොලොත්භාවයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩනැගීමට නායකත්වය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. එබැවින් එවැනි පුද්ගලයෙකු විසින් කරනු ලබන ප්‍රකාශයක් සුළු කොට තැකිය නොහැකියි,” යනුවෙන්ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.