August 27, 2026

නේපාලයේ භෝටේ කෝෂි ගංගාවේ ඇති වූ දැවැන්ත හදිසි ගංවතුර හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 826 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික ආපදා අවදානම් අවම කිරීම සහ කළමනාකරණ අධිකාරිය තහවුරු කරයි.

අතුරුදහන් වූ පිරිස අතර ප්‍රදේශවාසීන්, ආරක්ෂක නිලධාරීන් මෙන්ම දේශීය හා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ඇතුළත් වේ.

අඟහරුවාදා සිදුවූ මෙම ව්‍යසනයෙන් පසුව නේපාල හමුදාවේ නිලධාරීන් 44 දෙනෙකු, නේපාල පොලිසියේ 28 දෙනෙකු සහ සන්නද්ධ පොලිස් බලකායේ නිලධාරීන් 13 දෙනෙකු පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් නොමැත.

රසූවා සහ නුවාකොට් දිස්ත්‍රික්කවලින් පමණක් පුද්ගලයන් 162 දෙනෙකු අතුරුදහන් වී ඇති බවට වාර්තා වේ.

බලධාරීන්ට මෙතෙක් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ සංචාරකයන් සංඛ්‍යාව ද වේගයෙන් ඉහළ ගොස් ඇති අතර, විදේශිකයන් 476 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 114 දෙනෙකු ඇතුළුව සංචාරකයන් 590 දෙනෙකු අතුරුදහන් වී ඇති බව නේපාල සංචාරක මණ්ඩලය පවසයි.

මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ විදේශීය සංචාරකයන් අතර ඉන්දියානු ජාතිකයින් 177 දෙනෙකු, ඇමරිකානුවන් 63 දෙනෙකු, යුක්‍රේන ජාතිකයන් 53 දෙනෙකු, ඕස්ට්‍රේලියානුවන් 34 දෙනෙකු සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් 33 දෙනෙකු සිටින බව අදාළ මණ්ඩලය සඳහන් කරයි.

ඊට අමතරව කැනඩා ජාතිකයන් 25 දෙනෙකු, ජර්මානු ජාතිකයන් 8 දෙනෙකු මෙන්ම සිංගප්පූරු සහ දකුණු අප්‍රිකානු ජාතිකයන් 6 දෙනා බැගින් ද අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවට ඇතුළත් වේ.

ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශයේ බලධාරීන් එක්ව ගං ඉවුරු සහ පහළ ගංගා ධාරා ආශ්‍රිතව අතුරුදහන් වූවන් සෙවීමේ දැවැන්ත සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සක්‍රීයව සිදුකරනු ලබයි.