August 26, 2026

පකිස්තානයේ ප්‍රධානතම රාජ්‍ය රෝහලක මාතෘ වාට්ටුවේ ඇති වූ හදිසි ගින්නකින් අලුත උපන් බිලිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉස්ලාමාබාද් අගනුවර පිහිටි විශාලතම රාජ්‍ය රෝහල වන ‘පකිස්තාන් වෛද්‍ය විද්‍යා ආයතනයේ’ මාතෘ වාට්ටුව තුළ මෙම ගින්න හටගෙන ඇත්තේ බදාදා අලුයම කාලයේදීය.

ගින්න හටගන්නා අවස්ථාවේදී දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටි අලුත උපන් බිලිඳුන් 14 දෙනෙකු මියගිය බව රෝහල් පාලනාධිකාරිය නිල නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේය.

සිද්ධිය වන අවස්ථාවේදී එම වාට්ටුවේ බිලිඳුන් 15 දෙනෙකු සිටි බවත්, වෛද්‍යවරයෙකු විසින් එක් බිලිඳෙකු බේරාගැනීමට සමත් වූ බවත් රෝහල් මාධ්‍ය ප්‍රකාශිකා වෛද්‍ය අනීසා ජලීල් පවසා ඇත.

ගින්න පැතිර යාමත් සමඟම, මෑතකදී දරුවන් ප්‍රසූත කළ මව්වරුන් සිය ජීවිත බේරාගැනීම සඳහා පඩිපෙළවල් ඔස්සේ පහළට දිව යාමටත්, ජනේලවලින් බැස ඉණිමං ඔස්සේ පිටතට පැමිණීමටත් සිදු විය.

මියගිය බිලිඳුන්ගෙන් වැඩි පිරිසක් ඉන්කියුබේටර් යන්ත්‍ර තුළ හෝ ඔක්සිජන් ආධාරයෙන් සිටි අය බවත්, වාට්ටුවේ තිබූ ඔක්සිජන් සිලින්ඩර හේතුවෙන් ගින්න තවදුරටත් සිඝ්‍රයෙන් පැතිර ගිය බවත් සෞඛ්‍ය අමාත්‍ය මුස්තාෆා කමාල් සඳහන් කළේය.

අලුත උපන් බිලිඳුන් දැඩි සත්කාර ලබමින් සිටි ළමා කාමරයේ තිබූ වායුසමීකරණ යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙන් එය පිපිරී යාමෙන් මෙම ගින්න හටගෙන ඇති බව පරීක්ෂකවරු පවසති.

සිද්ධිය ඇසින් දුටු 38 හැවිරිදි සර්දාර් අත්ති උර් රහ්මාන් නමැත්තාගේ බිරිඳ පෙරදින එම රෝහලේදී දියණියක ප්‍රසූත කර තිබුණි. රෝහලේ රැඳී සිටි ඔහු ගින්න පැතිර යද්දී තම බිරිඳ සහ දරුවා සොයා නොඉවසිල්ලෙන් මාතෘ වාට්ටුව දෙසට දිව ගොස් ඇත.

තද දුමාරයෙන් වාට්ටුව පිරී යද්දී එහි ඇති වූ කලබලකාරී වාතාවරණය විස්තර කළ ඔහු, “කාමරය ඇතුළේ මගේ බිරිඳ සහ අලුත උපන් බිලිඳා දකින්න ලැබුණේ නැහැ. ඒත් මම දිගටම හෙව්වා. මගේ හදවත නතර වුණා වගේ දැනුණේ,” යැයි පැවසීය. කෙසේ වෙතත්, පසුව තම බිරිඳ සහ දරුවා ජීවත්ව සිටින බව ඔහු සොයාගෙන තිබේ.

එහිදී ට්‍රොලියක සිටි කාන්තාවක එළියට ඇද ගැනීමට තමා උපකාර කළ බවත්, නමුත් අනෙක් කාන්තාවන් සිය බිලිඳුන් ඉල්ලා හඬා වැටෙමින් එම ස්ථානයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.