August 25, 2026

ජර්මානු සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදක Porsche සමාගම, සිය ව්‍යාපාරික ක්‍රියාවලිය පුරා කෘත්‍රිම බුද්ධිය භාවිතය ව්‍යාප්ත කිරීමේ අරමුණින් ඉන්දියානු තොරතුරු තාක්ෂණ යෝධයකු වන ටාටා කන්සල්ටන්සි සර්විසස් සමාගම සමඟ යුරෝ බිලියන 1.25ක පස් අවුරුදු උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළඹ තිබේ.

මෙම ගිවිසුම යටතේ Porsche සමාගමේ ඉංජිනේරු, නිෂ්පාදන, මෙහෙයුම් සහ පාරිභෝගික සේවා අංශය ආවරණය වන පරිදි කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සක්‍රියව යොදාගැනීමට නියමිතය. තවද, නූතන මෝටර් රථ තාක්ෂණයන් සහ මෘදුකාංග පාදක කරගත් ගමනාගමන පද්ධති සංවර්ධනය කිරීම කෙරෙහි ද මෙම තාක්ෂණික සන්ධානය විශේෂ අවධානයක් යොමු කරනු ඇත.

මෙම පුළුල් එකඟතාවයේ කොටසක් ලෙස, Porsche සමාගමට අයත් මෝටර් රථ සහ තොරතුරු තාක්ෂණ උපදේශන අනුබද්ධිත සමාගමක් වන MHP සමාගම යුරෝ මිලියන 320ක ව්‍යවසාය වටිනාකමකට මිලදී ගැනීමට TCS සමාගම පියවර ගෙන තිබේ. මෙම අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය ඉදිරි මාස 3ත් 4ත් අතර කාලය තුළ සම්පූර්ණ කිරීමට අපේක්ෂිතය. MHP සමාගම යනු මෝටර් රථ සහ කාර්මික ක්ෂේත්‍රයේ ව්‍යාපාරික උපදේශනය මෙන්ම මෘදුකාංග පාදක ගමනාගමන විසඳුම් සම්බන්ධයෙන් විශේෂඥතාවක් දක්වන ආයතනයකි.

චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගෙන් එල්ල වන දැඩි තරගකාරීත්වය, පනවා ඇති බදු සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක මෝටර් රථ තාක්ෂණය වෙත සංක්‍රමණය වීමේදී දැරීමට සිදුවන අධික පිරිවැය හමුවේ, පෝර්ෂේ සමාගම සහ එහි මාපිය සමාගම වන Volkswagen සමූහය මේ වන විට පිරිවැය පාලනය කිරීමේ සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමේ නිරතව සිටී. එමෙන්ම, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ පැමිණීමත් සමඟ ගෝලීය තොරතුරු තාක්ෂණ බාහිරසූත්‍රකරණ ක්ෂේත්‍රය සීඝ්‍ර වෙනසකට ලක්වෙමින් පවතින පසුබිමක, මෙම ගිවිසුම TCS සමාගමට ද ඉතා වැදගත් ව්‍යාපාරික සන්ධිස්ථානයක් වේ.