August 22, 2026

ඇට්ලන්ටා සිට ඩලස් බලා පියාසර කරමින් තිබූ American Airlines (AA 2398) ගුවන් යානයක් තුළ මගියකුගේ ලැප්ටොප් පරිගණකයක් හදිසියේම ගිනිගැනීම හේතුවෙන් ගුවන් යානය ඩලස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩබස්වා තිබේ.

ගුවන් යානය ගොඩබස්වන අවස්ථාවේදී පසුපස මැදිරිය තුළ මෙම ගින්න හටගෙන ඇති අතර, ගුවන් සේවකයන් විසින් වහා ක්‍රියාත්මක වී ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇත.

ගුවන්තොටුපොළ පාලන මැදිරිය වෙත පණිවුඩයක් නිකුත් කරමින් නියමුවා පවසා ඇත්තේ ලැප්ටොප් එක ගිනිගැනීමෙන් මගීන් 4 දෙනෙකු හෝ 5 දෙනෙකු පමණ පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි.

යානය ගොඩබස්වීමෙන් පසු වෛද්‍ය කණ්ඩායම් විසින් පරීක්ෂා කළ අතර, එක් මගියකුට ගුවන්තොටුපොළේදීම වෛද්‍ය ප්‍රතිකාර ලබාදී නිදහස් කර ඇත.

ලැප්ටොප් සහ ජංගම දුරකථනවල ඇති ලිතියම්-අයන් බැටරි අධික ලෙස රත් වීම, හානිවීම හෝ ජලයට නිරාවරණය වීම නිසා මෙලෙස හදිසියේ ගිනිගැනීමේ දැඩි අවදානමක් පවතින බව ඇමෙරිකානු ගුවන් සේවා අධිකාරිය පෙන්වා දෙයි.

ලිතියම් බැටරි සහිත ඩිවයිස් සහ පවර් බෑන්ක් කිසිවිටෙකත් පරීක්ෂා කර බාරදෙන (Checked luggage) බෑග් තුළ තැන්පත් නොකළ යුතු අතර, ඒවා සෑමවිටම ගුවන් යානය තුළට ගෙනියන අත්බෑග් (Carry-on) තුළ පමණක් තබාගත යුතු බවට ගුවන් සේවා නීති මගින් දැඩි ලෙස උපදෙස් දී ඇත.