August 22, 2026

ගිනිස් ලෝක වාර්තා පොතට අනුව දැනට ලොව ජීවත්ව සිටින වයස්ගතම පුද්ගලයා වන එතෙල් කැටර්හැම් ඇගේ 117 වැනි උපන්දිනය සමරා තිබේ.

තම විශේෂ උපන්දිනය වෙනුවෙන් සුභ පැතුම් එක්කළ සැමට කෘතඥතාව පළකරමින් ඇය පවසා ඇත්තේ, 117 වැනි වියෙහි පසුවුවද මෙම වසරේදී චාල්ස් රජුගේ අතින් ඇල්ලීමටත්, ‘ලාමා’ සතෙකු අතගෑමටත් තමන්ට අවස්ථාව ලැබුණු බවයි.

තමන් මෙතරම් කාලයක් නිරෝගීව ජීවත්වීමේ රහස කුමක්දැයි විමසූ විට ඇය පවසා ඇත්තේ, “මම කවදාවත් කා එක්කවත් රණ්ඩු වෙන්නේ නැහැ. මම අනිත් අය කියන දේට සවන්දෙනවා, හැබැයි මම කරන්නේ මට ඕන දේ” යනුවෙනි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී III වන චාල්ස් රජු හමු වූ ඇය, 1969 වසරේදී ඔහු වේල්ස් කුමරු ලෙස අභිෂේක ලැබූ අයුරු නැරඹූ අතීත මතකයන් ද රජු සමඟ බෙදාගෙන තිබේ.

ඇය 1909 අගෝස්තු 21 වැනිදා එක්සත් රාජධානියේ උපත ලබා ඇති අතර, ඒ වන විට බ්‍රිතාන්‍යයේ පාලකයා ලෙස කටයුතු කළේ චාල්ස් රජුගේ මී මුත්තණුවන් වන VII වන එඩ්වඩ් රජුය.

පසුගිය වසරේදී වයස අවුරුදු 116ක් වූ බ්‍රසීල ජාතික ඉනා කනබාරෝ ලූකාස්ගේ අභාවයෙන් පසු, එතෙල් ලොව වයස්ගතම තැනැත්තිය ලෙස ගිනිස් පොතට එක්වූවාය.

ඇගේ සහෝදර සහෝදරියන් 8 දෙනාගෙන් එක් අයෙකු ද අවුරුදු 104ක් ආයු විඳ තිබේ.

තරුණ වියේදී ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය එතෙල්, වර්තමානයේ එංගලන්තයේ සරේ හි පිහිටි වැඩිහිටි නිවාසයක ජීවත් වන අතර, ඇයට මුණුබුරන් 3 දෙනෙකු සහ මීමුණුබුරන් 5 දෙනෙකු සිටිති.