August 15, 2026

නව මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන්ගේ තොරතුරු රහසිගතව රැස්කරමින් ඔවුන්ට අනතුරක් කිරීමට සැලසුම් කළ බවට සැකකෙරෙන පුද්ගලයකු සහස්පුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු, පසුගියදා නව මැගසින් බන්ධනාගාරය තුළ ඇතිවූ උණුසුම් කලහකාරී තත්ත්වය අතරතුරදී මියගිය මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමැත්තාගේ කිට්ටුම සගයකු බවටයි පොලීසිය හඳුනාගෙන ඇත්තේ.

පසුගිය වසරේ දෙහිවල, වටරප්පල පාරේදී සිදුවූ ද්විත්ව ඝාතනයට අදාළව අස්මාන් පැමිණි යතුරුපැදිය පදවා ඇත්තේද මොහු විසිනි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී, විදෙස්ගතව සිටින ප්‍රකට පාතාල නායකයෙකු වන ‘කොස් මල්ලි’ සමඟ ඔහු සිදුකළ දුරකථන සංවාද කිහිපයක හඬපට සොයාගැනීමට පොලිසියට හැකිවී ඇත.

බන්ධනාගාර නිලධාරීන් පිළිබඳ තොරතුරු සොයාබලන ආකාරය සහ ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන ආකාරය පිළිබඳ සංවේදී තොරතුරු රැසක් එම හඬපටවල අන්තර්ගතව තිබූ බව වාර්තා වේ.

නව මැගසින් බන්ධනාගාරයේ ගැටුම ඇතිවීමට දින 3කට පෙර අධිකරණයෙන් ඇප ලබා එළියට පැමිණ ඇති මෙම සැකකරුගෙන් සිදුවීමට අදාළව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුවේ.