August 14, 2026

දකුණු පළාතේ ජනප්‍රිය සංචාරක කලාපයක් වන හිරිකැටිය ප්‍රදේශයේ අලුතින් ආරම්භ කරන ලද ‘චබාඩ් හවුස්’ (Chabad House) ආයතනයක් ඉවත් කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් සහ බෞද්ධ භික්ෂුන් වහන්සේ එක්ව විරෝධතාවක නිරත වී තිබේ.

මෙම චබාඩ් හවුස් ආයතනය හිරිකැටිය ප්‍රදේශයේ ස්ථාපිත කර මාසයකට ආසන්න කාලයකට පසුව මෙම විරෝධතාව පවත්වා ඇත.

අදාළ ආයතනය නෛතික අනුමැතියකින් තොරව පවත්වාගෙන යන බවටත්, එහි ක්‍රියාකාරකම් හේතුවෙන් ප්‍රදේශයේ සාමකාමී පරිසරයට සහ සාමාජීය හාර්දතාවයට බාධා සිදුවන බවටත් විරෝධතාකරුවෝ චෝදනා කරති.

මෙම ස්ථානය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නිසි රාජ්‍ය සහ ප්‍රාදේශීය අනුමැතීන් ලබාගෙන තිබේද යන්න පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්, නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන්නේ නම් එය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් විරෝධතාවයට එක්වූ හිමිවරු සහ ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

ප්‍රදේශවාසීන් කිහිපදෙනකු විසින් අදාළ ස්ථානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බලධාරීන්ට කරන ලද පැමිණිලි කිහිපයකින් අනතුරුව මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.

කෙසේ වෙතත්, නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් අදාළ චබාඩ් හවුස් ආයතනයේ පාලනාධිකාරියෙන් හෝ වගකිවයුතු රාජ්‍ය බලධාරීන්ගෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් වී නොමැත.