August 9, 2026

චීනය පුරා පවතින ආර්ථික පසුබෑම සහ උග්‍ර රැකියා හිඟය හමුවේ එරට උසස් පාසල්වල සිසුන්, ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවලට වඩා පොලිස් සහ හමුදා වැනි ස්ථිර රාජ්‍ය අංශයේ රැකියා තහවුරු කෙරෙන විශේෂිත විශ්වවිද්‍යාල තෝරාගැනීමට වැඩි කැමැත්තක් දක්වන බව වාර්තා වේ.

චීනයේ තරුණ පරම්පරාව මුහුණ දෙන අතිශය අස්ථාවර රැකියා වෙළඳපොළ මෙමගින් පිළිඹිමු වන බව විශ්ලේෂකයෝ පවසති.

ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට තරම් ඉහළ ලකුණු ලබා ගන්නා ඇතැම් සිසුන් පවා, Iron rice bowl ලෙස හැඳින්වෙන ස්ථිර රාජ්‍ය රැකියාවන්හි සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙම තීරණය ගනිමින් සිටිති.

Financial Times පුවත්පත මෑතකදී වාර්තා කළේ, චීනයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය වන Gaokao විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා සිසුන්, පොලිස් විශ්වවිද්‍යාල සහ හමුදා පාසල් වැනි රාජ්‍ය අංශයේ රැකියා ලබා ගැනීමට වැඩි අවස්ථාවක් ඇති ආයතන වෙත විශාල වශයෙන් යොමු වන බවයි.

විශේෂයෙන්ම, මෙම විශේෂිත ආයතනවල ජනප්‍රිය පාඨමාලාවලට ඇතුළත් වීමේ ලකුණු සීමාවන් කෙතරම් ඉහළ ගොස් ඇත්දැයි කිවහොත්, ඒවා චීනයේ ඉහළම ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල මට්ටමටම පැමිණ තිබේ.

අධ්‍යාපන සහ විභාග තරගකාරීත්වය ඉහළම ප්‍රදේශයක් ලෙස සැලකෙන ජියැංසු ප්‍රදේශය ඇසුරින් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත කළ විශ්ලේෂණයකට අනුව, චීන මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ‘චීන මහජන මහජන ආරක්ෂක විශ්වවිද්‍යාලයේ’ මෙවර ජනප්‍රිය පාඨමාලාවක් සඳහා ඇතුළත් වීමේ පහළම ලකුණ ලකුණු 750 න් 652 ක් ලෙස සටහන් විය. මෙය චීනයේ අංක එකේ විශ්වවිද්‍යාලය වන Tsinghua විශ්වවිද්‍යාලයේ සාපේක්ෂව අඩු ඉල්ලුමක් සහිත පාඨමාලාවකට ඇතුළත් වීමට අවශ්‍ය පහළම ලකුණු මට්ටමට වඩා ලකුණු 3 ක් පමණක් අඩුවීමකි.

තවද, රේගු පරීක්ෂණ සහ නිරෝධායන ආරක්ෂාව පිළිබඳ උගන්වන Shanghai Customs University වෙත ප්‍රවේශ ලකුණු මට්ටම 662 දක්වා ඉහළ ගිය අතර, එය චීනයේ තවත් ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Shanghai Jiao Tong විශ්වවිද්‍යාලයේ පහළම ප්‍රවේශ ලකුණට වඩා වැඩි අගයකි. චීන ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, මෙවර හමුදා විද්‍යාලවලට ඇතුළත් වූ නවක සිසුන්ගේ ලකුණු මට්ටමද ඉතිහාසයේ ඉහළම අගයට ළඟා වී ඇත.

මෙලෙස රාජ්‍ය අංශයේ රැකියා වෙත සිසුන් දැඩි ලෙස යොමු වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ තරුණ රැකියා විරහිතභාවයයි. ඉකුත් වසර අගදී බීජිං විශ්වවිද්‍යාලය විසින් උපාධි අපේක්ෂකයින් සහ උපාධිධාරීන් 32,247 දෙනෙකු ඇසුරින් කරන ලද සමීක්ෂණයකට අනුව, රටේ ඉහළම මට්ටමේ නොවන නමුදු හොඳ මට්ටමේ පවතින විශ්වවිද්‍යාලවලින් පිටවූ උපාධිධාරීන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසකට උපාධිය ලැබීමෙන් පසුවද පූර්ණ කාලීන රැකියාවක් සොයා ගැනීමට නොහැකි වී ඇත.