August 13, 2026

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන් වෙත පැවරී ඇති බලතලවලින් ඔබ්බට ගොස් කටයුතු කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බවත්, රට වෙනුවෙන් අවශ්‍ය වෙනස සිදුකිරීමට ඕනෑම අවදානමක් ගැනීමට තමන් පසුබට නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

ඊයේ (12) පස්වරුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, තමන් බලයේම රැඳී සිටීමේ අරමුණින් පැමිණි අයෙකු නොවන බවත්, රටේ යහපත වෙනුවෙන් ගනු ලබන තීන්දු තීරණ හමුවේ තනතුර අහිමි වී යාමට සිදුවුවද එය සතුටින් භාරගෙන නික්ම යාමට තමන් සූදානම් බවත්ය.

“අවදානමක් ගන්නේ නැතුව කිසිම වෙනසක් කරන්න බැහැ. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පවා දැනට ක්‍රියාත්මක වෙන්නේ මගේ ආරක්ෂාවට වගකියන බුද්ධි අංශ මගින්මයි. ඒ තුළ මට ජීවිත අවදානමක් පවා තියෙන්න පුළුවන් බව මම දන්නවා. ඒත් ඒ අවදානම අරගෙන හරි අපි මේ වෙනස කළ යුතුයි. ඒ අවදානම හමුවේ මගේ පුටුව නැති වුණත් මම ඒක හදවතින්ම භාරගෙන යන්න ලෑස්තියි” යැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.