June 21, 2026

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ ‘පිරිසිදු මරදාන’ (Clean Maradana) සත්කාරක වැඩසටහනක් අද (21) මරදාන දුම්රිය ස්ථානයේ 4 වන වේදිකාව කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්විණි.

මේ සඳහා කොළඹ ආනන්ද විද්‍යාලය, සහිරා විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය යන ප්‍රමුඛ පෙළේ පාසල් තුනක සිසුහු විශාල පිරිසක් එක්ව සිටියහ.

රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංකල්පයට සමගාමීව සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදී, පාසල් සිසුහු මරදාන දුම්රිය ස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීම සහ අලංකරණය කිරීමේ කටයුතුවල ක්‍රියාකාරීව නිරතවූහ.

මෙම අවස්ථාවට අදාළ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කර තිබුණේ, වඩාත් පිරිසිදු පරිසරයක් සහ පිරිසිදු ශ්‍රී ලංකාවක් බිහිකිරීම වෙනුවෙන් තරුණ පරපුර එකමුතුව දායකත්වය සපයන ආකාරය පිළිබඳව මෙය කදිම ආදර්ශයක් සපයන බවයි.

රට පුරා දියත් කර ඇති පුළුල් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සත්කාරක වැඩසටහන් මාලාවක තවත් එක් පියවරක් ලෙස මෙම ‘පිරිසිදු මරදාන’ වැඩසටහන සංවිධානය කර තිබිණි.