April 7, 2026

හැටන් හි සිංගිමලේ ස්වභාව රක්ෂිතයේ කඳු මුදුනේ අතරමං වූ ලන්දේසි තරුණියක් හැටන් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ.

ලූනා ටුගට් ලෙස හඳුනාගෙන ඇති 20 හැවිරිදි ඇය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් බව පොලිසිය පැවසීය.

ඇය සෙසු සිසුන් සමඟ ශ්‍රී ලංකාවට පැමිණ අනුබද්ධ වැඩසටහනක් යටතේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිට ඇත.

අප්‍රේල් 6 වැනිදා, පර්යේෂණ කටයුත්තක් සඳහා මිතුරන් සමඟ ඇය සිංගිමලේ කඳු මුදුනට නැගීමට එක්ව තිබේ.

කඳු මුදුන නැරඹීමට ගිය අවස්ථාවේ ඇයට රක්ෂිතය තුළ මඟ වැරදී ආපසු යෑමට නොහැකි වී ඇත.

නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු, හැටන් පොලිසියේ සහාය ඇතිව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කෙරිණි.

ප්‍රබල උත්සාහයකින් පසු, කඳු මුදුනේ පර්වතයක් මත වාඩි වී සිටි ඇය නිලධාරීන් විසින් සොයාගෙන, ආරක්ෂිතව බේරාගෙන හැටන් පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබිණි.