April 7, 2026

ජාතික සංවර්ධන බැංකුවෙන් හෙළිදරව් වූ රුපියල් බිලියන 13.2ක වංචාව, එම බැංකුවේ මූලික මූල්‍ය ශක්තියට බලපා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ ප්‍රකාශ කළේය.

ජාතික සංවර්ධන බැංකුව හෙවත් NDB බැංකුව පසුගිය බ්‍රහස්පතින්දා හෙළි කළේ සේවකයන් කිහිප දෙනෙකු තෙවැනි පාර්ශවයන් සමඟ හවුල් වී සිදුකළ රුපියල් මිලියන 380ක වංචාවක් අනාවරණය කර ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණවලින් වංචාව බොහෝ ඉහළ වටිනාකමකින් යුක්ත විය හැකි බවයි.

ඊයේ, එම බැංකුව තවත් හෙළිදරව්වක් සිදු කළේ වංචාව රුපියල් බිලියන 13.2ක් ලෙස තක්සේරු කරමිනි.

අරමුදල් වසර කිහිපයක කාලයක් තුළ බැංකුවෙන් ඉවතට ගෙන ඇති බව පෙනුන ද එය අනාවරණ වී තිබුණේ පසුගිය සතියේ මුලදී ය.

කොළඹ කොටස් හුවමාරුව පෙ.ව. 9:02ට NDB කොටස්වල වෙළඳාම නතර කළ අතර එය ඉතිරි දිනය සඳහා බලාත්මකව පැවතිණි.

කොටස් මිල රු. 130.50කින් නොවෙනස්ව අවසන් විය.

“සැළකිව යුතු අලාභයක් සිදුවිය හැකි අභ්‍යන්තර වංචාවක් අනාවරණය කරගෙන ඇති බව NDB ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දන්වා ඇත. මෙම වංචාවෙන් කිසිදු ගනුදෙනුකරුගේ ගිණුමකට හෝ තැන්පතුවලට බලපෑමක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දන්වා ඇත.” යනුවෙන් ඊයේ කෙටි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.

NDB විසින් සපයන ලද තොරතුරු මත පදනම්ව, මූල්‍ය බලපෑම පිළිබඳ මූලික තක්සේරුවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කර ඇත.

වාර්තා වූ අලාභය නොතකා, ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය සහ ද්‍රවශීලතාවට අදාළ විචක්ෂණ අනුපාත අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක පවතින බවට මහ බැංකුව සෑහීමකට පත්වේ.

අඛණ්ඩව වර්ධනයන් නිරීක්ෂණය කරන අතර අවශ්‍ය නම් අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

“අවශ්‍යතාවයකදී, අදාළ නීති සහ යෝජනා ක්‍රමවල විධිවිධාන යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් බැංකුවලට ලබා ගත හැකි තාවකාලික ද්‍රවශීලතාවට ප්‍රවේශ වීමට NDB බැංකුවට හැකි වනු ඇත,” යනුවෙන් ද මහ බැංකුව පැවසීය.