April 7, 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී සහ න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ පුහුණු අභ්‍යාසයක් ත්‍රිකුණාමලය වරායේ දී පවත්වා තිබේ.

විවිධ ආකාරයේ තර්ජනවලට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම එහි අරමුණයි.

නැගෙනහිර නාවික විධානයේ විකිරණශීලී සහ න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර ඒකකය විසින් සංවිධාන කරන ලද මෙම පුහුණු වැඩසටහනට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (ත්‍රිකුණාමලය), ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (ත්‍රිකුණාමලය), ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව, චයිනාබේ ගුවන් හමුදා ඇකඩමිය, ශ්‍රී ලංකා හමුදාවේ 22 වැනි පාබල සේනාංකය සහ චයිනාබේ පොලිස් ස්ථානය යන නියෝජිතයින් සහභාගී කර ගෙන තිබිණි.

පසුගිය සතියේ (31) පැවති මෙම පුහුණු වැඩමුළුවේ න්‍යායාත්මක සැසිවලදී, විභව රසායනික උපද්‍රව හඳුනා ගැනීම, විෂ සහිත රසායනික ද්‍රව්‍ය කළමනාකරණය කිරීම, අනතුරුවලට ගොදුරු වූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සහ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී සහ න්‍යෂ්ටික තර්ජන පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම පිළිබඳ දැනුවත් කෙරිණි.

මේ අතර, ප්‍රායෝගික සැසි මගින් රසායනික හදිසි අවස්ථාවකදී ආරක්ෂිත උපාංග සහ උපකරණ නිසි ලෙස හැසිරවීම, පුද්ගලයන් ආරක්ෂිතව ඉවත් කිරීම සහ අන්තරායකර රසායනික සංයෝග ආරක්ෂිතව බැහැර කිරීම සඳහා උපාය මාර්ග පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙන ලදී.