April 7, 2026

හම්බන්තොට ප්‍රදේශයේ ඇති වූ වන අලි ගැටලුව හේතුවෙන් හම්බන්තොට අධ්‍යාපන කලාපයේ නෝනාගම වැලිපටන්විල මහා විද්‍යාලය වසා දැමීමට සිදුව තිබේ.

නෝනාගම, වැලිපටන්විල සහ කියුවල ප්‍රදේශවල වන අලි රංචුවක් නිතර සැරිසරන බවත්, තම ජීවිතයට සිදුවිය හැකි අනතුරක් ගැන නිරන්තරයෙන් බියෙන් ජීවත් වන බවත් ප්‍රදේශවාසීහු පැවසූහ.

වැලිපටන්විල මහා විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ගමගේ පැවසුවේ ප්‍රදේශයට නිතර යන එන අලියකු පාසල් මිදුලේ පිටුපස ගේට්ටුව අසලදී සිසුවකුගේ මවකට අයත් යතුරුපැදියකට පහරදීම නිසා ඊට විශාල හානියක් සිදු වූ බවයි.

අලි මිනිස් ගැටුම මෙතරම් සමීපව අත්විඳ නැති දරුවන් පාසල් මිදුලේ වන අලියකු දැකීමෙන් බියට පත් වූ බව ඔහු සඳහන් කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මාපියන් කැඳවා දරුවන් භාර දී පාසල වසා දමා ඇත.

කලමැටිය වනජීවී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ වන අලි රංචුව ප්‍රදේශයෙන් පලවා හැරීමට පියවර ගෙන ඇති බවයි.