January 30, 2026

චිත්‍රපටයේ නිෂ්පාදක, ආර්ට් මූවීස් (පීවීටී) ලිමිටඩ් සමාගමේ අවසරයකින් තොරව, අභාවප්‍රාප්ත ක්ලැරන්ස් විජේවර්ධනගේ ජීවිත කතාව පදනම් කරගත් රිදම් ඔෆ් ගිටාර් සිංහල චිත්‍රපටය පාදක කරගනිමින් සංගීත සංදර්ශන පැවැත්වීම, ඒවා වේදිකාගත කිරීම වළක්වමින්, අමාලි රණවීර සභාපතිනිය වන කොළඹ වාණිජ මහාධිකරණය, සුරේෂ් මාලියද්ද සහ තවත් පස්දෙනෙකුට වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

චිත්‍රපටයේ නිෂ්පාදක සමාගම විසින් ආරම්භ කරන ලද නඩුවකට අදාළව මෙම නියෝගය ලබා දී ඇත.

විත්තිකරුවන්, පාර්ශව කිහිපයක් සමඟ එක්ව කටයුතු කරමින්, නිෂ්පාදකයාගෙන් අවශ්‍ය අවසරය ලබා නොගෙන, ලන්ඩනයේ සහ තවත් විදේශීය නගරවල මහජන සංගීත සංදර්ශන මාලාවක් සැලසුම් කරන බවට ප්‍රචාරය කර ඇති බවත්, ඒවා රිදම් ඔෆ් ගිටාර් සංගීත සංදර්ශන ලෙස ඉදිරිපත් කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පවතින නිතිය නීතිය යටතේ, චිත්‍රපටයේ සියලුම ප්‍රකාශන හිමිකම් සහ ආර්ථික අයිතිවාසිකම් ප්‍රධාන වශයෙන් නිෂ්පාදකයා සතු බව පැමිණිල්ලේ සඳහන් වේ.

නිෂ්පාදකයාගේ ප්‍රකාශිත අවසරයකින් තොරව චිත්‍රපටයේ සංගීතය හෝ සංකල්පය ප්‍රසිද්ධියේ රඟදැක්වීමට හෝ වාණිජමය වශයෙන් ප්‍රතිලාභ ලබාගැනීමටත් ස්වාධීන අයිතිවාසිකම් නොමැති බවත්, අපේක්ෂිත රංගනයන් නිෂ්පාදකයාගේ ප්‍රකාශන අයිතිය පැහැදිලිව උල්ලංඝනය කිරීමක් බව තවදුරටත් තර්ක කෙරිණි.

මෙම ඉදිරිපත් කිරීම් සලකා බැලූ අධිකරණය, ඉල්ලා සිටි වාරණ නියෝග ලබාදී ඇති අතර, එමඟින් විත්තිකරුවන්ට සංගීත සංදර්ශන පැවැත්වීම හෝ ඒවා ඉදිරියට ගෙන යාම වළක්වා ඇත.

තුෂාරා සමන්පාලි අමරසිරිගේ උපදෙස් පරිදි, නීතිඥ අලි සබ්රි, ෂමිත් ප්‍රනාන්දු, ෂෙහානි අල්විස් සහ නාමික් නෆත් සමඟ පැමිණිලිකාර නිෂ්පාදන සමාගම වෙනුවෙන් පෙනීසිටියහ.