January 30, 2026

විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියැදුරන් නීතියේ රැහැනට හසුකරගන්නා පොලිස් නිලධාරීන්ට එක් අත්අඩංගුවට ගැනීමක් සඳහා රුපියල් 10,000 බැගින් මුදල් ත්‍යාග ලබන 01 දා සිට ලබාදීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර රජයේ පුවත්පතක් වන ‘දිනමිණ’ට පවසා ඇත.

හෙරායින්, අයිස් වැනි විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කළ රියැදුරන් 900කට වැඩි පිරිසක් මෙම වසරේ ඊයේ දක්වා ගෙවුණු දින 29 තුළ අත්අඩංගුවට ගෙන ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.

ගෙවුණු දින 7 තුළ සිදුකළ වැටළීම්වලදී බීමත් රියැදුරන් ද 6000 ඉක්මවා අත්අඩංගුවට ගෙන ඇතැයිද හෙතෙම අනාවරණය කර ඇත.

මත්ද්‍රව්‍ය සහ විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගැනීමට දිවයින පුරා වැටළීම් කණ්ඩායම් යොමුකර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් කිපවසා තිබේ.