January 30, 2026

රංගන ශිල්පි රජිත හිරාන්ට(පිංපොං) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ සංවිධායක ලෙස පත්කර ඇතිබවට පළවන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක අජිත් නාරගල පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන අජිත් නාරගල මෙසේ සඳහන් කරයි.

“අද දින (2026.01.29) දින කැස්බෑව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්‍යාලය (Lotus office) පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළා. මේ උත්සවයට සහභාගී වීම සදහා දේශපාලඥයින් මෙන්ම කලාකරුවන් සහ විද්වතුන් රැසක් ද සහභාගී වුණා.මෙහිදී අනෙක් කලාකරුවන් මෙන්ම රජිත හිරාන් මහතා (පිංපොං)ද අමුත්තන්ගේ පොතේ සිය සටහන තබද්දී ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙලා තිබුණා. එහිදී කැස්බෑව ආසන සංවිධායක ලෙස රජිත හිරාන් මහතා (පිංපොං) පත්කර ඇති බවට සාවද්‍ය ප්‍රවෘත්තියක්ද පළවී තිබුණා. මේක සම්පූර්ණයෙන්ම ව්‍යාජ, අසත්‍ය ප්‍රවෘත්තියක්.

මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති පළකිරීම ගැන තමා අතිශය කණගාටුවන බවත්, මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවන, ශක්තිය ලබාදෙන කලාකරුවන්,මෙන්ම ජනප්‍රිය පුද්ගලයින් අධෛර්යට පත්කිරීමට ගන්නා ලද උත්සාහයක් ලෙස තමා දකින බවත්, අජිත් නාරගල පවසයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැත.

ඇතැම් පිරිස් පවසන්නේ මෙම ප්‍රවෘත්තිය පිංපොංගේ පාර්ශ්වයෙන් නිර්මාණය කෙරුණක් බවයි.