January 28, 2026

පාසල් ආශ්‍රිත දේ පාලනයකින් තොරව අන්තර්ජාලය තුළ පැතිර යෑම සම්බන්ධයෙන් මතභේදයක් පවතින අවස්ථාවක, බාල වයස්කාර දරුවන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමා කිරීමට රජය සළකා බලමින් සිටී.

ඩිජිටල් නිදහස, වාරණය සහ ශ්‍රී ලාංකික තරුණයන් අන්තර්ජාලය තුළ දකින දේ අවසානයේ පාලනය කරන්නේ කවුද යන්න පිළිබඳ මේ වන විට නව ගැටළු මතු කර ඇත.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පැවසුවේ අන්තර්ජාල වේදිකාවලට සම්බන්ධ සිදුවීම්වල තියුණු වැඩිවීමක් මධ්‍යයේ, බාල වයස්කාර සිසුන් සහ ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය සඳහා සීමාවන් පැනවීමේ හැකියාව ගවේෂණය කිරීම සඳහා සාකච්ඡා දැනට සිදුවෙමින් පවතින බවයි.

එවැනි සීමාවන් තීරණය කිරීමේ වගකීම ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය සතු බවත්, ප්‍රතිපත්තිමය තීරණයක් ගත් පසු, එය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන බවත් ඔහු පැවසීය.

පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයකු සහ ගුරුවරියන් කිහිපදෙනෙකු අතර පැවති බව කියන සමීප සම්බන්ධතාවක් පිළිබඳ සිදුවීමකින් පසුව, මේ කාරණය සම්බන්ධ විවාදය නැවත ආරම්භ විය.

මෙය පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ පෞද්ගලික ජීවිතවලට බරපතළ හානියක් සිදුකර ඇති බවත්, කරුණු සම්පූර්ණයෙන්ම තහවුරු වූ පසු පමණක් විනය ක්‍රියාමාර්ග ගතයුතු බව අවධාරණය කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“අපි තවම අවසන් තීරණයකට පැමිණ නැහැ, නමුත් සමාජ මාධ්‍ය අන්තර්ගතයන් නිසා බාලවයස්කාර දරුවන්ගේ මනසට සිදුවන හානිය ආමන්ත්‍රණය කිරීම සඳහා රපියවර ගත යුතුයි,” වීරරත්න පැවසීය.

“සමාජ මාධ්‍ය වේදිකා ක්‍රියාකරුවන් සීමාවන් පැනවීමට ශ්‍රී ලංකාවේ දේශීය විදුලි සංදේශ සමාගම්වලට උපදෙස් දිය යුතුයි, තවත් බොහෝ රටවල් දැනටමත් මෙම දිශාවට ගමන් කරමින් සිටිනවා. තාක්ෂණික හැකියාව දැනටමත් පවතින නිසා අපේ රටට පහසුවෙන් යෙදිය හැකියි,” ඔහු පැවසීය.

කෙසේවෙතත්, ප්‍රවේශය සීමා කිරීමේ ඕනෑම පියවරක් රජයේ විධිමත් ප්‍රතිපත්ති තීරණයක් ලෙස ගත යුතු බව ඔහු අවධාරණය කළේය.

සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති අතර, ඕනෑම සීමාවක් ක්‍රියාත්මක කිරීමට පෙර පුළුල් සැලැස්මක් සකස් කළ යුතු බව ඔහු පැවසීය.

ගෝලීය වශයෙන්, සයිබර් හිරිහැර කිරීම, හානිකර අන්තර්ගතයට නිරාවරණය වීම සහ බාලවයස්කරුවන් අතර මානසික සෞඛ්‍යය නරක අතට හැරීම පිළිබඳ කණස්සල්ල උපුටා දක්වමින්, රජයන් සමාජ මාධ්‍ය වෙත ළමුන්ගේ ප්‍රවේශය පිළිබඳ පාලනයන් වැඩි වැඩියෙන් දැඩි කරමින් සිටී.

බොහෝ වේදිකා අවම වයස අවුරුදු 13 ලෙස නියම කළද, බලාත්මක කිරීම දුර්වලව පවතියි.

බොහෝ රටවල් මුහුණු හඳුනාගැනීම සහ අනන්‍යතා පරීක්ෂාවන් ඇතුළු දැඩි වයස් සත්‍යාපන ක්‍රම සඳහා පෙළඹේ.

තිර කාලය සීමා කිරීමට සහ අන්තර්ගතය තෝරාගැනීමට මාපිය පාලන මෙවලම් ප්‍රවර්ධනය කෙරේ.

2025 දෙසැම්බර් සිට වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කරන නීති සම්මත කරමින් ඕස්ට්‍රේලියාව මෙතෙක් ශක්තිමත්ම ස්ථාවරය ගෙන තිබේ.

යුරෝපීය රටවල් කිහිපයක්, ප්‍රංශය, ඩෙන්මාර්කය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් දැඩි වයස් සීමාවන් සහ අනිවාර්ය මාපියන්ගේ කැමැත්ත කරා ගමන් කරමින් සිටින අතර, චීනය අවුරුදු 18ට අඩු පරිශීලකයන් සඳහා තිර කාලය සහ අන්තර්ගතය දැඩි ලෙස පාලනය කරන සීමාවන් ක්‍රියාත්මක කරයි.

එක්සත් ජනපදයේ, ෆ්ලොරිඩා වැනි ප්‍රාන්තවල වයස අවුරුදු 14ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.

මේ අතර, ප්‍රංශයේ ජාතික සභාව වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කරන පනත් කෙටුම්පතකට සහාය දක්වා ඇති අතර, එම යෝජනාවට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද සහාය දක්වයි.

ශ්‍රී ලංකාව මෙම ගෝලීය ප්‍රවණතාවය අනුගමනය කිරීම සලකා බලන විට, මෙම යෝජනාව ළමා ආරක්ෂාව, දෙමාපියන්ගේ වගකීම, ඩිජිටල් අයිතිවාසිකම් සහ ප්‍රවේශය සීමා කිරීම විසඳුමද නැතහොත් ගැඹුරු සමාජ ගැටලු සම්බන්ධයෙන් වෙළුම් පටියක් පමණක්ද යන්න පිළිබඳ දැඩි විවාදයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.