January 28, 2026

මෙරට සිටින අවුරුදු 10ත් 24ත් අතර වයස් සීමාවේ පසුවන ප්‍රජාවේ 39%ක් පමණ මානසික ආතතියෙන් පෙළෙන බව ජාතික මානසික සෞඛ්‍ය ආයතනය පවසයි.

එම ආයතනයට සියවසක් සපිරීම නිමිත්තෙන් පැවැති විශේෂ ජනමාධ්‍ය හමුවකදී එහි අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම, මෙම සංඛ්‍යාලේඛන හෙළිකළේය.

මානසික රෝග යනු මෙරට තුළ වර්ධනය වන මහජන සෞඛ්‍ය ගැටළුවක් වන අතර, එය සියලුම වයස් කාණ්ඩවල පුද්ගලයන්ට බලපාන බව ඔහු සඳහන් කළේය.

රටේ ජනගහණයෙන් 13%ක් පමණ මානසික සෞඛ්‍ය ගැටලුවලට මුහුණපාන අතර, 3%ක් පමණ දෛනික කටයුතුවලට බාධාකරන දරුණු තත්වයන්ගෙන් පීඩා විඳින බව ද ඔහු එහිදී අනාවරණ කළේය.

එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ මෙරට වෙසෙන පුද්ගලයන් පස්දෙනකුගෙන් එක් අයකු, එනම් 19ක් පමණ මානසික අවපීඩනයෙන් පෙළෙන බවත්, සියදිවි නසාගැනීම ජාතික හා ගෝලීය වශයෙන් ප්‍රධාන ගැටළුවක් ලෙස වර්ධනය වෙමින් පවතින බවත් ය.

වෛද්‍ය ධම්මික අලහප්පෙරුම පවසන පරිදි නව යොවුන් වියේ පසුවන්නන් අතර මානසික සෞඛ්‍ය අභියෝග විශේෂයෙන් උග්‍ර වෙමින් පවතී.

යෞවනයන් අතර, 20% ක් පමණ කාන්සාව හා සම්බන්ධ පීඩාවන් අත්විඳින අතර, 18% ක් මානසික අවපීඩනයේ අඛණ්ඩ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර 15% ක් පමණ සියදිවි නසාගැනීම ගැන බැරෑරුම් ලෙස සලකා ඇත.

එසේම 10% ක් පමණ සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති අතර, විශේෂයෙන් ගැහැණු ළමුන් එම තත්වයට වැඩි වශයෙන් මුහුණදී ඇත.