December 4, 2025

දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට කළ බලපෑම මෙරට සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ආසන්න වශයෙන් සියයට 0.5 සිට 0.7 දක්වා අඩු කරනු ඇතැයි ෆස්ට් කැපිටල් රිසර්ච් (FCR) විසින් පුරෝකථනය කර තිබේ.

මෙම තක්සේරුව 2016 ගංවතුර සහ 2004 සුනාමිය වැනි මීට පෙර වූ සිදුවීම් මත පදනම්ව සිදුකර තිබේ.

පරිභෝජනය, ආයෝජන සහ ශුද්ධ අපනයන සඳහා වන බාධාවන් රජයේ සහන වියදම් මගින් ජනනය කරන ලද තාවකාලික ආර්ථික ක්‍රියාකාරකම්වලට වඩා වැඩි වනු ඇතැයි ද ඔවුන් සඳහන් කර තිබේ.

ක්ෂණික පසුබෑමක් තිබියදීත්, 2026 සඳහා වර්ධන ඇස්තමේන්තුව සියයට 3.0 සිට සියයට 4.0 දක්වා පවත්වා ගනු ඇති බව ෆස්ට් කැපිටල් රිසර්ච් පවසයි.

අහිතකර කාලගුණික තත්ත්වයන් දිවයිනේ දළ දේශීය නිෂ්පාදිතයෙන් දළ වශයෙන් සියයට 68ක් වන පෞද්ගලික පරිභෝජනය මත දැඩි ලෙස බර පැටවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෘෂිකාර්මික නිෂ්පාදනය අඩුවීම, ග්‍රාමීය කුටුම්භ අතර ආදායම් පාඩු සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා වී ඇති හානිය නිසා පාරිභෝගික ඉල්ලුම අඩු වීමට ඉඩ ඇත.

හදිසි සහන සහ යටිතල පහසුකම් අලුත්වැඩියාවන් හේතුවෙන් රජයේ වියදම් මධ්‍යස්ථව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි.

පෞද්ගලික අංශයේ මෙහෙයුම් ද බාධාවන්ට මුහුණ දෙන බැවින් ආයෝජන ක්‍රියාකාරකම් ද දුර්වල වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

උද්ධමන පීඩනය කෙටි කාලීනව තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ප්‍රධාන උද්ධමනය ආසන්න වශයෙන් පදනම් ලකුණු 40කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

ගංවතුර හේතුවෙන් අස්වැන්න නෙළීම, ගබඩා කිරීම සහ ප්‍රවාහනය අඩාල වී ඇති අතර එමඟින් එළවළු, පොල් සහ පලතුරු වැනි ප්‍රධාන ආහාර කාණ්ඩවල සැපයුම් හිඟයක් ඇති වී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, 2026 සඳහා වාර්ෂික සාමාන්‍ය උද්ධමන ඇස්තමේන්තුව පෙර පුරෝකථනය කළ සියයට 2.9 සිට සියයට 3.3 දක්වා ඉහළ ගොස් ඇත.

අත්‍යවශ්‍ය විදේශ විනිමය උපයන සංචාරක ව්‍යාපාරය, කොළඹ ජලයෙන් යටවීම සහ වෙරළබඩ හෝටල්වලට හානි වීම හේතුවෙන් කෙටි කාලීන පසුබෑමකට මුහුණ දී සිටී.

ෆස්ට් කැපිටල් රිසර්ච් විසින් 2025 සංචාරක ඉපැයීම් පුරෝකථනය අමෙරිකානු ඩොලර් බිලියන 3.3 සිට ඇමරිකානු ඩොලර් බිලියන 3.2 දක්වා අඩු කර ඇත.

එහෙත් 2026 සඳහා වන දැක්ම අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් ලෙස නොවෙනස්ව පවතී.

ඉදිරි මාස හය තුළ සේවක ප්‍රේෂණ සියයට 10-15කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බලපෑමට ලක් වූ පවුල්වලට ආධාර කිරීම සඳහා විදේශවල සිටින පිරිස අරමුදල් එවන අතර ඒ අනුව එම ප්‍රේෂණ 2026 දී අමෙරිකානු ඩොලර් බිලියන 8.8 දක්වා ළඟා විය හැකිය.

හදිසි සහන සහ පුනරුත්ථාපනය සඳහා වන වියදම් වැඩිවීම හේතුවෙන්, මූල්‍ය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් දළ වශයෙන් සියයට 0.1කින් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2026 සඳහා මුදල් අවප්‍රමාණ පීඩනය සියයට 5.0 ක් පමණ පවතිනු ඇතැයි ෆස්ට් කැපිටල් රිසර්ච් අපේක්ෂා කරයි.